අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා නෛතික කටයුතු සිදු කරමින් පවතිනවා

    අප්‍රේල් 09, 2014

    මහාචාර්ය සේනක බිබිලේ මහතා විසින් යෝජනා කරන ලද ඖෂධ ප්‍රතිපත්තිය මත පදනම් වූ ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලය විසින් 2005 වර්ෂයේදී අනුමත කරන ලද අතර ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා දැනට පවතින පනත සංශෝධනය කරමින් හෝ අවලංගු කරමින් නව පනතක් කෙටුම්පත් කිරීම සඳහා 2007/10/10 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත් බවත් මේ අනුමත ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සෑම අවුරුදු 05කට වරක් ම සමාලෝචනය කර සංශෝධනය කරන බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (09) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයක පිළිතුරු දෙමින් මේ බව කීය.

    ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සමාලෝචනය කර සංශෝධනය කිරීමට සහ පවතින නීතිවලට එම සංශෝධන ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය නෛතික රාමුව සකස් කිරීමට අමාත්‍යාංශය විසින් පත්කරන ලද විද්වත් කමිටුවේ රැස්වීම් කිහිපයක් පවත්වා නිර්දේශ ඉදිරිපත් කර තිබේ. එහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ විලවුන් උපකරණ හා ඖෂධ සම්බන්ධයෙන් වෙන වෙනම පනත් 03ක් ඇති කිරීමට සහ එම පනත් 03ම මේ යෝජිත අධිකාරියේ පනත යටතට ගෙන ඒමට හැකි පරිදි සැකසීමයි. මේ පනත් කෙටුම්පතේ ප්‍රගතිය පිළිබඳ ව විටින් විට අධීක්ෂණය කළ අතර අදාළ කමිටුව නැවත සකස් කළ බවත් ඔහු පැවසීය.

    2013 ජනවාරි මාසයේදී මේ පනත් කෙටුම්පත් කර අවසන් බව එවකට සිටි නීති කෙටුම්පත් සම්පාදක විසින් දැනුම් දුන් බව පැවසූ අමාත්‍යවරයා අදාළ නිලධාරියා විශ්‍රාම ගැනීමෙන් පසු වැඩබලන ලද නීති කෙටුම්පත් සම්පාදකතුමිය විසින් මේ පනත සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ කිසිදු ලියවිල්ලක් නොමැති බව දැනුම් දී ඇතැයි කීය. ඒ පිළිබඳව පෙර කටයුතු කළ නීති කෙටුම්පත් සම්පාදක විසින් විමසීමක් කෙරිණි. එහිදී පනත් 03ක් සැකසීම හේතුවෙන් එකිනෙක පනතේ සම්බන්ධීකරණය සහ පාලනය පිළිබඳ ප්‍රායෝගික ගැටලු ඇති වන බව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටාර්වරයා සහ විද්වතුන් විසින් දැනුම් දී ඇත.


    අනතුරුව පනත් 03 එක් කර එක් පනතක් සකස් කිරීමට කටයුතු කළ අතර මේ වන විට එම කටයුතු බොහෝදුරට අවසන් වී ඇත. එකී යෝජිත පනත නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කර ඇති ඉංග්‍රීසි පිටපතේ අවසාන කෙටුම්පත ලැබී ඇති බවත් එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.


    මේ වනවිට දේශීයව ඖෂධ වර්ග 47ක් නිෂ්පාදනය කරන බව පැවසූ ඔහු දේශීයව ඖෂධ නිපදවීම සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව 2013 වසරේදී අමුද්‍රව්‍යත් ඇතුළත්ව රුපියල් මිලියන 1646.52ක් වැය කර ඇතැයි ද වැඩිදුරටත් සඳහන් කළේය.

     

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya