අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාගර ආර්ථිකයක් ගැන ප්‍රායෝගිකව අධ්‍යයනය කිරීමට අත දුන්නේ ජනාධිපතිතුමායි

    අගෝස්තු 20, 2014

    21 වන ශත වර්ෂයේ සාගර ආර්ථිකයක් ගැන ලොව පුරා කථා කරන විට එය වඩාත් ප්‍රායෝගිකව අපේ දරුවන්ට වඩාත් පුළුල් ව අධ්‍යයනය කරන්න අත දිගු කළ නායකයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ස්තූතිවන්ත විය යුතු යැයි යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (20) පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත දෙවන වර කියැවීමේ විවාදය ආරම්භ කරමිනි.


    සාගර විද්‍යාව පුළුල් කළ යුතුයි. නවීනත්වය මෙරටට කැඳවා ගත යුතුයි. ඒ සඳහා සාගර විශ්වවිද්‍යාල පාඨමාලාවන් සැකසිය යුතු බව පැවසූ අමාත්‍යවරයා අපේ රටේ පළමු වතාවට සාම්ප්‍රදායික ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිසට නූතන තාක්ෂණය හඳුන්වා දීමට මේ මඟින් අවස්ථාව ලැබෙන බව පැවසීය.


    මෙවැනි පුහුණු මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන්නේ සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ කාලයේදීයි. එය පළමු අවස්ථාව වන අතර දෙවන අවස්ථාව වන්නේ 1997දී ය. නිෆ්නි ආයතනය පැවතියේ ධීවර අමාත්‍යාංශය යටතේ වන අතර මේ රජයේ සැලකිල්ල අඩුවෙන් පැවති තාක්ෂණවේදී විෂය ගැන අවධානය යොමු කරමින් යෞවන කටයුතු හා නිපුණතා කටයුතු අමාත්‍යාංශය යටතට පැවරිණි. ඒ යටතේ සාගර විශ්විවිද්‍යාලයක් ස්ථාපිත කිරීමට පියවර ගනිමින් හම්බන්තොට වරායට ආසන්නව අක්කර 45ක භූමි භාගයක ඉදිකිරීම් සිදු කරනු ඇත. ධීවර, සමුද්‍රවිද්‍යාව හා සමුද්‍ර තාක්ෂණය ගැන විධිවිධාන සැලසීම, ධීවර ක්ෂේත්‍රයට අදාළ තාක්ෂණ අධ්‍යාපනය ලබාදීම මේ මඟින් සිදු  කෙරෙන බව ඔහු කීය.


    මේ පනත අනුව ජාතික ධීවර හා සමුද්‍ර ආයතනය අලුත් අධ්‍යයනයන් යටතේ ක්‍රියාත්මක කෙරේ. ධීවර හා සමාන ක්ෂේත්‍රවල අයට දැනුමදීම, වෘත්තීය සංවර්ධනය සඳහා පාඨමාලා සැකසීම, දැනට සිසුන්ගේ දක්ෂතාව හා හැකියාව මත පදනම් ව ඉංජිනේරු විද්‍යාව, සමුද්‍ර තාක්ෂණය හා ප්‍රවීණත්වය වැඩිකිරීමට සහන සලසාදීමට සාගර විශ්වවිද්‍යාලය මඟින් පියවර ගැනේ. නිපුණතා සංවර්ධනය මේ රටේ හැම ආණ්ඩුවක්ම නොසලකා හැරිය විෂයයක්.


    1893දී මේ රටේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය කාලයේදී ආරම්භ කරන මරදානේ කාර්මික විද්‍යාලයෙන් තාක්ෂණ විෂය හඳුන්වා දුන්නත් අපේ හැම ආණ්ඩුවක්ම ඒ වෘත්තීය අධ්‍යාපනය නගාසිටුවන්න පියවර ගත්තත් ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා එය ප්‍රමාණවත් වුණේ නැහැ. අද මහින්ද රාජපක්ෂ යුගයේ තීරණ 05ක් ක්‍රියාත්මක කරමින් තාක්ෂණ විෂය හඳුන්වා දී ඇත. මේ රටේ ජාතික නිපුණතා සම්මතයක් ගොඩනැගීම හා මෙය උපාධිය දක්වා ක්‍රියාත්මක කිරීම පළමු තීරණයයි. උපාධිය දක්වා ගිය හැකි වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල මෙරට ගොඩනැඟුණේ පළමු වරටයි. මේ නිසා පාසල් හැරයන දරුවන්ට ජාතික ආර්ථිකයට දායකත්වය දෙන්න හැකියාවක් පවතී.


    පාසල් දරුවන් වෙනුවෙන් උසස් පෙළ විෂය නිර්දේශයට තාක්ෂණවේදී විෂය ඇතුළත් කිරීම, ශ්‍රම වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් පාඨමාලා 27ක් මෙහිදී හඳුන්වා දෙනු ඇත. ජාතික වෘත්තීය සුදුසුකම් ගොඩනැගීම හරහා පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි දක්වා ගමන් කළ ගමන් කළ හැකි බවත් රාජ්‍ය වැය සම්පතෙන් වෙන් කරන මුදලට වඩා 2016දී ආසියානු සංවර්ධන බැංකුවෙන් හා ලෝක බැංකුවෙන් ඇ.ඩො. මිලියන 400ක් මෙරට වෘත්තීය නිපුණතා හදාරණ දරුවන් වෙනුවෙන් වෙන් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya