අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව සිය විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ඉන්දියාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි

    අගෝස්තු 20, 2014

    ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්හි වර්ධනයක් හා පිබිදීමක් දක්නට ලැබෙන බවත් ශ්‍රී ලංකාව සිය විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ඉන්දියාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු අතර තමිල්නාඩුව කෙරෙහි ඊටත් වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් සිංගප්පූරු නැන්යන්ග් විශ්වවිද්‍යාලයේ මානව හිංසන සහ ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ අන්තර්ජාතික පර්යේෂණ මධ්‍යස්ථානයේ ප්‍රධානි මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පවසයි.


    ශ්‍රී ලංකාව සිය විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී තමිල්නාඩුව කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් තමිල්නාඩුව ශ්‍රී ලංකාව කෙරෙහි වැඩි ප්‍රසාදයක් නොදක්වන බවද ඒ මහතා කීය. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟ තම සබඳතා ගොඩනගා ගැනීමේදී තමිල්නාඩුව කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතුව තිබේ.


    මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සංගමය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කළ "මෝදී යටතේ ඉන්දියාව: ඉන්දු ලංකා සබඳතාවල හැරවුම් ලක්ෂයක්" මැයෙන් අද (20) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති දේශනයකට සහභාගී වෙමිනි.


    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා, ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟ විදෙස් සබඳතා ශක්තිමත් ලෙස පවත්වාගෙන යා යුතුයි. ඒ වගේම අපේ විදෙස් ප්‍රතිපත්තිය බුද්ධිමත්ව පවත්වාගෙන යා යුතුයි. ඉන්දියාව සමඟ අපේ සබඳතා ගොඩනැගීමේදී තමිල්නාඩුවේ ඩී.එම්.කේ., ඒ.අයි.ඩී.එම්.කේ., පක්ෂ සමග මෙන්ම අනෙකුත් පක්ෂ සමඟ ද සබඳතාවක් පවත්වා ගෙන යා යුතුයි. එවැනි සබඳතාවක් මෙතෙක් නොපැවති නිසා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔවුන් සිටින්නේ වැරදි  වැටහීමකින්.‍ යුදමය වකවානුවේදී 40000කට අධික දෙමළ ජනතාවක් මිය ගිය බවට ඔවුන් විශ්වාස කරනවා. මේක අමූලික අසත්‍යයක්. මෙලෙස චෝදනා කරන අයට, මේ අයගේ නම් ගම් හෙළි කරන ලෙසට රජය අභියෝග කළ යුතුයි. මේ අය මිය ගිය අයගේ විස්තර හෙළි කර නැහැ.


    නරේන්ද්‍ර මෝදී කියන්නේ නිදහසින් පසු ඉන්දියාවේ බිහි වූ වෙනස් ම සුවිශේෂී නායකයෙක්. ඔහුගේ දේශපාලනමය සහ ආරක්ෂකමය දැක්මට වඩා ආර්ථිකමය පැහැදිලි දැක්මක් එතුමාට තිබෙනවා. එය තෙවැනි ඇසක් ව‍ගෙයි. ඒ වගේම ගුජරාටයේ ආර්ථිකය ගොඩනැගීම සඳහා සුවිශේෂී මෙහෙවරක් එතුමා ඉටු කළා. ඒ වගේම කලාපීය වශයෙන් අවධානය යොමු විය යුතු නායකයෙක් තමයි මෝදී අගමැතිවරයා. එතුමා අගමැතිවරයා ලෙස පත් වූ පසු මුලින් ම ගියේ භූතානයටයි. නේපාලයටයි. එතුමා ශ්‍රී ලංකාවට පැමිණීමේ අදහසින් පසුවෙනවා. එය දෙරට අතර මිත්‍රත්වයට හොඳ අවස්ථාවක්. මෝදී අගමැතිවරයාට පකිස්තානය සහ චීනය සම්බන්ධයෙන් කිසි ම සැකයක් නැහැ. ඒ වගේ ම මෝදි අගමැතිවරයාගේ නායකත්වය යටතේ ඉන්දියාව සාර්ක් කලාපයේ බලගතු කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බවට විශ්වාසයක් තිබෙනවා. ඒ හැකියාව එතුමාට තිබෙනවා. අපේ දේශපාලකයනුත් කළ යුත්තේ ශ්‍රී ලංකාව කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට උත්සාහ කිරීම යැයි ඔහු සඳහන් කළේය.


    වසර 30 පුරා ත්‍රස්තවාදය අපේ රටේ පැවතුණා . ඒ ප්‍රශ්නය නිසා අපේ රටේ එක පරම්පරාවක් මුළුමනින් ම විනාශ වුණා. ඒ තත්ත්වය නැවත වතාවක් ඇතිවීමට ඉඩ නොතැබිය යුතුයි. ත්‍රස්තවාදී ගැටලුවේදී ආරම්භයේ පටන් ම තමිල්නාඩුව හා ශ්‍රී ලංකාව අතර හොඳ මිත්‍රත්වයක් තිබුණේ නැහැ. නමුත් ශ්‍රී ලංකාව හා දිල්ලිය අතර සම්බන්ධතාවක් තිබුණා. 1981දී ප්‍රභාකරන් සහ උමා මහේෂ්වරන් දෙදෙනා තමිල්නාඩුව විසින් අත්අඩංගුවට ගත්තා. අපේ පොලිස්පතිවරයා එහි ගියත් මේ අයව අපට ලබා දුන්නේ නැහැ. එහෙම වුණේ අපේ රටත් තමිල්නාඩුවත් අතර හොඳ මිත්‍රත්වයක් තිබුණේ නැති නිසයි. අපි හැම වෙලාවේ ම මිත්‍රත්වය තිබුණේ උතුරු ඉන්දියාව සමඟයි. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලය යටතේ සාම ගිවිසුම අත්සන් කළා. එතුමා ඉන්දියාව සමඟ සමීප සබඳතා පැවැත් වූවා.


    13 වන ව්‍යවස්ථා සංශෝධනය ගැනත් යමක් සඳහන් කළ යුතුයි. එය හැදුවේ ඉන්දියානු විසඳුමක් ලෙසයි. ඉන්දියාව විශාල රටක්. ඉන්දියාව ජන වර්ගීකරණය අනුව ප්‍රාන්ත වශයෙන් බෙදා වෙන් කළ හැකියි. නමුත් ලංකාව කියන්නේ කුඩා රටක්. ලංකාව ජාති, ආගම් වශයෙන් ජනවාර්ගික වශයෙන් බෙදා වෙන් කළ නොහැකියි. ඒ නිසා අපට 13 වන ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නැහැ කියලා මම කියන්නේ නැහැ. අපට අවශ්‍ය වන්නේ සියලු දෙනාට එකසේ ගැළපෙන දේශීය විසඳුමක්. එය සකස් විය යුත්තේ ශ්‍රී ලාංකීය මොඩලයටයි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය අවසන් වුණා. නමුත් මතවාදය අවසන් වී නැහැ. ඒ නිසා රජය කල්පනාකාරී විය යුතුයි. ද්‍රවිඩ ජාතික සන්ධානය එල්.ටී.ටී.ඊ.ය  සමඟ සමීපව ඇසුරු කළා. එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ පවුල්වලට සම්බන්ධ පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර ලබා දීමෙන් ඔවුන්ගේ මතය ජනතාව අතරට ගෙන යාමට හැකියාව ලැබෙනවා. එය කිසිසේත් සිදු නොවිය යුතුයි යන්නයි මගේ මතය වන්නේ. යුද්ධය අවසන් කිරීමෙන් පසුව රජය එල්.ටී.ටී.ඊ.  සංවිධානයේ 11,800ක් දෙනා පුනරුත්ථාපනය කර සමාජගත කර තිබෙනවා. මේ අය අධ්‍යාපනය අවසන් කර ඉංජිනේරු වැනි රැකියාවල අද නිරතව සිටිනවා. මේ පුනරුත්ථාපන වැඩසටහන ජාත්‍යන්තර මොඩලයක්. එය පිළිගත් ආකාරයෙන් ඉතා නිවැරදිව සිදු කළ බවට ජාත්‍යන්තරය පවා පිළිගත්තා. යුද්ධයෙන් පසුව වසර කිහිපයක් තුළ ලක්ෂ තුනක් පමණ ජනතාව බිම්බෝම්බ ඉවත් කර නැවත පදිංචි කළා. ලෝකයේ කිසිම රටක් මෙතරම් ඉක්මනින් මේ ක්‍රියාවලිය සිදු කර නැහැ. මෙය අප අගය කළ යුතු බව ද මහාචාර්යවරයා සඳහන් කළේය.


    නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා මේ අවස්ථාවට එක් වෙමින් අදහස් දැක්වූ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල, වේත්‍රධාරි පරාක්‍රම සමරසේකර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වසන්තප්‍රිය රාමනායක, පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රගීත් පෙරේරා, ලේකම් ජෝෂප් ස්ටීවන් යන මහත්වරුන් සහ මාධ්‍යවේදීහු මේ අවස්ථාවට එක් ව සිටියහ.


    NDH/HC

     

    prof Rohan Gunarathna Lecture in parliament 1

    prof Rohan Gunarathna Lecture in parliament 2

    prof Rohan Gunarathna Lecture in parliament 3

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya