මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ අධ්‍යාපනය හා සාක්ෂරතාව ඉහළ නැංවීමට ජනපතිගෙන් උපදෙස්

    අගෝස්තු 13, 2014
    මාතලේ දිස්ත්‍රික්කයේ දරුවන්ගේ අධ්‍යාපනයත් සාක්ෂරතාවත් ඉහළ නැංවීමට විශේෂ 
    වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අදාළ 
    නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
     
    දිස්ත්‍රික්කයේ සාක්ෂරතාව පහළ මට්ටමක පැවතීමට හේතුව දරුවන් නිසි ලෙස පාසල් 
    නොපැමිණීම බවද අනාවරණය කෙරුණු අතර ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිතුමා දිස්ත්‍රික් ලේකම්වරයා වෙත උපදෙස් දුන්නේ දරුවන් පාසල් වෙත ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසය.
     
    ඒ පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමට මහජන නියෝජිතයන් මෙන් ම පොලිසියේ දී 
    සහභාගිත්වයෙන් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් 
    දුන්නේය.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ ඊයේ (12) මාතලේ නගර සභා ශ්‍රවණාගාරයේ පැවැති මාතලේ විශේෂ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක් වෙමිනි. 
     
    ගුරු ස්ථාන මාරුවීම් සිදුකිරීමේ දී සිදු ව ඇති දුර්වලතා දිස්ත්‍රික්කයේ දරුවන්ගේ අධ්‍යාපන මට්ටම පහළ බැසීමට හේතු වී ඇති බවද මෙහිදී අනාවරණය කෙරුණු අතර දිස්ත්‍රික්කයේ සියලු ම ගුරු පුරප්පාඩු කඩිනමින් පියවීමට කටයුතු කරන බවද සඳහන් කෙරිණි. 
     
    ගුරු ස්ථාන මාරුවීම් සිදුකිරීමේ දී දරුවන්ට අසාධාරණයක් නොවන අයුරින් එම ස්ථාන මාරුවීම් සිදුකිරීමේ වැදගත්කම ද පෙන්වා දුන් ජනාධිපතිතුමා ගුරුවරුන් බඳවා ගැනීමේ දී පාසල් පාදක කරගනිමින් එම බඳවාගැනීම් සිදුකිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය. 
     
    2018 වන විට දිවයිනේ සියලු නිවාස සඳහා පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙළ මේ වන විටත් රජය ක්‍රියාත්මක කර ඇති බවද මෙහිදී ජනාධිපතිතුමා පැවසීය. රටේ පානීය ජල ගැටලුව සඳහා ලබන වසරේ විශේෂ අවධානයක් යොමු කිරීමට කටයුතු කරන බවද කියා සිටියේය. අනාගතයේ දී ලෝකයේ වටිනාම සම්පත් වන්නේ ජලය බවද පෙන්වා දුන් ජනාධිපතිතුමා අපේ රටේ ජල සම්පත රැකගැනීමට සියලු දෙනා දැඩි වගකීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.
     
    නියඟය පවතින ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය ජලය ලබාදීමේ වැඩපිළිවෙළ පිළිබඳ ව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එම ප්‍රදේශවල අභය භූමිවල සිටින සතුන් ආරක්ෂා කරගැනීම සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. මාතලේ දිස්ත්‍රික්කයේ ජල මූලාශ්‍ර ආරක්ෂා කරගැනීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය. 
     
    නිකරුණේ මහ මුහුදට ගලා යන ජලය නියඟය පවතින ප්‍රදේශවලට ගෙන ගොස් එම ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ලබාදීමේ වැඩපිළිවෙළක් පිළිබඳ ව රජයේ අවධානය යොමු වී ඇත.
     
    දිස්ත්‍රික්කයේ එනසාල් ගොවීන් මුහුණ පා ඇති ගැටලු කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර එම ගොවීන් ආරක්ෂා කරගැනීම සඳහා ඔවුන්ට විකල්ප ඉඩම් මිලදී ලබාදීමේ වැඩපිළිවෙළක් පිළිබඳ ව ද සාකච්ඡා කෙරිණි.
     
    රටට, රජයට බරක් නොවී ස්ව උත්සාහයෙන් නැඟීසිටින කාන්තා පරපුරක් අද රට තුළ බිහිවී ඇති බවද පෙන්වාදුන් ජනාධිපතිතුමා ඔවුන් දිරිමත් කරමින් රැකගැනීමේ වගකීම සියලු නිලධාරීන්ට පැවරෙන බවද කියා සිටියේය.
     
    දේශපාලන භේදයකින් තොර ව සියලු දෙනා රට සංවර්ධනය කිරීමට එක්විය යුතු බවද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා සංවර්ධනයත්, දේශාපලනයත් පටලවාගෙන සංවර්ධනය අඩාල කර ජනතාව අපහසුතාවට පත් නොකරන ලෙස ද මහජන නියෝජිතවරුන්ගෙන් ඉල්ලා සිටියේය. 
     
    ඓතිහාසික වටිනාකමකින් යුත් මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් 80%ක් ම 
    කෘෂිකර්මාන්තයේ නිරත ව සිටිති. එම ජනතාවගේ ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ පිළිබඳ ව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. 
     
    මහාමාර්ග, විදුලිබලය, වාරිමාර්ග ඇතුළු සෙසු යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ ව ද සාකච්ඡා කෙරිණි. දිස්ත්‍රික්කයේ මේ වන විට මාර්ග කිලෝමීටර් 1698 සංවර්ධනය කර ඇති අතර නිවාස 55,935ට විදුලිය සපයා ඇත. 
     
    දිස්ත්‍රික්කයේ ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය තත්ත්වයක් ලබාදීම සඳහා ද වැඩපිළිවෙළ රැසක් ක්‍රියාවට නංවා ඇත. විල්ගමුව රෝහලේ පහසුකම්වලින් සමන්විත වකගඩු රෝග ඒකකයක් ස්ථාපිත කිරීම, බෝ නොවන රෝග වැළැක්වීම සඳහා සුව දිවි සායන 22ක් ක්‍රියාත්මක කිරීම, දිස්ත්‍රික්කයේ රෝහල් වෙත රු.මි. 34ක වියදමින් අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් ඊට ඇතුළත් ය. 
     
    මාතලේ අළුවිහාරේ සංවර්ධන කටයුතු පිළිබඳ ව මෙහිදී අවධානය යොමු කෙරුණු අතර එහි පෙරහර මාවත ගල් අතුරා ප්‍රතිසංස්කරණය කරන ලෙස ජනාධිපතිතුමා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබාදුන්නේය. 
     
    අතිගරු ජනාධිපතිතුමා මාතලේ දිස්ත්‍රික්කයට පැමිණීම වෙනුවෙන් එතුමාට එම ජනතාවගේ උපහාරය පිළිගන්වමින් සමරු තිළිණ ප්‍රදානයක් ද සිදුවිය. 
     
    අමාත්‍යවරුන් වන ජනක බණ්ඩාර තෙන්නකෝන්, බැසිල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් වසන්ත පෙරේරා, රෝහණ දිසානායක, ඉන්දික බණ්ඩාරනායක, නන්දිමිත්‍ර ඒකනායක මහත්වරු ද, මාතලේ මහ නගර සභාවේ නගරාධිපති හිල්හි මොහොමඩ්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් පී.බී. අබේකෝන්, මාතලේ දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල මහත්ම 
    මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ. 
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya