අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බුදු දහම ආරක්ෂා කිරීමට වත්මන් රජය කැපවී සිටිනවා

    අගෝස්තු 12, 2014
    තම රජය බුදු දහම ආරක්ෂා කිරීමට කැපවී සිටින රජයක් බවත් මෙම යුගය බුදු දහම ආරක්ෂා කර එය නඟාසිටවු යුගයක් බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.
     
    බුදු දහම රැක ගැනීම රජයේ වගකීමක් යැයි ව්‍යවස්ථාවෙත් සඳහන් ව තිබියදී ඇතමුන් විහාරස්ථානවලට කටු කම්බි ගැහුව යුගයක් තිබුණ බවත් ධර්මිෂ්ඨ සමාජය කියලා පොතක් පළ කළ මහාචාර්යවරුන්ට, සෝභිත හාමුදුරුවන්ට බයිසිකල් චේන්වලින් පහරදුන්න යුගයක් මේ රටේ තිබූ බවත් ජනාධිපතිතුමා සිහිපත් කළේය. 
     
    එසේම සිංහල බෞද්ධයෙක් යැයි පැවසීමට ඇතැම් දේශපාලනඥයෝ බිය වී සිටි යුග අප රටේ පැවති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මෙම සිද්ධීන් සිහිපත් කිරීමට සිදුව ඇත්තේ අද බුදු දහම විනාශ කරනවා යැයි නොයෙක් ආකාරයේ බොරු මත මේ රටේ පළ කරන නිසා යැයි ද පැවසීය. 
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව පැවසුවේ දළදා පෙරහැරේ සමාප්ති උත්සවය ඊයේ (11) අමතමිනි.
     
    "අපට මතකයි වසර හතරකට පහකට කළින් දළදා පෙරහැර පැවැත්වුවේ බොහෝ අවදානම් මධ්‍යයේ. මට මතකයි අරලියගහ මන්දිරයේ සාකච්ඡා කැඳවලා ආරක්ෂක අංශ කතා කරපුවා අපි දන්නවා. මොන තරම් ආරක්ෂක නිලධාරින් යොදවන්න සිද්ධ වුණා ද කියන එක අපි දන්නවා. බෞද්ධ බැතිමතුන්ගේ අපි අකමැත්තෙන් වුණත් ඉන ඉඟ අතගාලා බොහෝම දුෂ්කරතා විඳගෙන තමයි පෙරහැර නරඹන්න ආවේ. එවැනි යුගයක් අපට තිබුණා. දළදා මාලිගාවේ සඳකඩපහණ උඩ එළිපත්තේ බෝම්බ ලොරියක් පිපිරෙව්වා. 1998 දී නිදහස් ස්වර්ණ ජයන්තිය අවසාන සිංහල රාජධානිය දළදා හාමුදුරුවෝ වැඩ ඉන්න නුවර පවත්වන්න සියලු කටයුතු ඉටුකරලා තියෙද්දිත් එය පවත්වන්න බැරිව අපට සිද්ධ වුණා කොළඹට ගෙන යන්න. බුදුදහම තබා මේ මාලිගාවේ ආරක්ෂාවවත් තහවුරු කර ගන්න බැරි යුගයක් තිබුණයි කියලා අපට අමතක කරන්න පුළුවන්කමක් නැහැ"
     
    දළදා වහන්සේ ආරක්ෂා කර ගනිමින් පැවැත් වූ පුද පූජාවන් සංස්කෘතියේ වටිනාකම සහ මිනිසුන්ගේ තිබෙන වටිනාකම් පිළිබඳ ලෝකයට පෙන්නුම් කළ හැකි අවස්ථාවක් යැයි තමන් විශ්වාස කරන බවත් ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.
     
    "මේ රටේ  ඕනෑම තැනකට පූජනීය වස්තුවක් නිදහසේ වැඩමවන්න, පෙරහර කරන්න අයිතිය හා නිදහස තියෙනවා. අපි රට නිදහස් කරගෙන ඒ දිනාගත්ත නිදහස් වටිනාකම රටට ජනතාවට ලබා දීලා තියෙනවා. බුදු දහමට, ශාසනයට වගේම කෝවිලට, දේවස්ථානයටත් ඒ නිදහසේ වටිනාකම ලබාදීලා තියෙනවා". 
     
    නොදන්නා කරුණු පිළිබඳ ව ප‍්‍රකාශයන් සිදු නොකරන ලෙසත් එවිට වැරදි චිත‍්‍රයක් මැවෙන බවත් පෙන්වා දුන් ජනාධිපතිතුමා එය රටට, අපට මෙන් ම ලෝකයටත් හොඳ දෙයක් නොවන බවත්  එය අවබෝධ කරගත යුතු යැයි ද වැඩිදුරටත් පැවසීය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya