අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රස්තවාදී සන්නද්ධ ක්‍රියා නිසා බරපතළ අනිටු ප්‍රතිවිපාකවලට මුහුණපෑමට සිදු වුණා

    අගෝස්තු 07, 2014

    පසුගිය දශක තුනක කාලය මුළුල්ලේ ශ්‍රී ලංකාවේ පැවැති ත්‍රස්තවාදී සන්නද්ධ ක්‍රියාවල ප්‍රතිඵලයක් වශයෙන් විශේෂයෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල දේපොළ හිමිකරුවන්ට බරපතළ අනිටු ප්‍රතිවිපාකවලට මුහුණපෑමට සිදු වූ බව අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (07) පාර්ලිමේන්තුවේදී කාලාවරෝධ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් මේ බව කීය.

     

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය. ත්‍රස්තවාදී ක්‍රියා හේතු කරගෙන අධිකරණවලදී තම අයිතිවාසිකම් අනුව ක්‍රියාකිරීමට හෝ තමන් වෙනුවෙන් විත්ති වාචික ඉදිරිපත් කිරීමට නොහැකි වන පුද්ගලයන් එනම් සන්නද්ධ ගැටුම් නිසා අවතැන් වූ හෝ අවාසි සහගත තත්ත්වයකට පත් වූ අයට සහන සලසාදීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත මඟින් අවශ්‍ය නීතිමය විධිවිධාන සැලසීමට පියවර ගෙන තිබෙනවා. ගැටුම් පැවැති සමයේ සිය වාසස්ථාන අහිමිවීම නිසා අවතැන් වූවන්ට මෙන්ම තම වාසභූමි හා අධිකරණය වෙත ප්‍රවේශවීමට නොහැකිවීම නිසා එම කාලයේදී සිය දේපොළ පිළිබඳ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට හෝ ක්‍රියාත්මක වීමට නොහැකි පුද්ගලයන්ට මෙම සංශෝධන මඟින් සහන සැ‍ලසෙනවා.

     

    කාලාවරෝධ ආඥාපනත යටතේ දැනට ඇති විධිවිධානවලට අනුව වෙනත් අයෙකුගේ නිශ්චල දේපළ හෝ ඉඩම් සම්බන්ධයෙන් වසර දහයක ප්‍රතිවිරුද්ධ වූ බාධාවන‍්ගෙන් තොරව හා අඛණ්ඩ සන්තකය වසර දහයක් ඇති අයට එම දේපොළවල අයිතිය එම අයට ප්‍රදානය කරමින් අධිකර‍ණයෙන් තීන්දුවක් ලබා ගැනීමට අදාළ පුද්ගලයන්ට හිමිකමක් තිබෙනවා. මෙම විධිවිධාන අදාළ කරගැනීම නිසා බොහෝ තැනැත්තන්ට අහිතකර බලපෑම් ඇති වුණා. එම නිසා කාලාවරෝධ ආඥාපනතේ ඊට අදාළ ප්‍රතිපාදන ගැටුම් හේතුවෙන් අවාසි සහගත තත්ත්වයට පත්වූ තැනැත්තන්ගේ නඩු කටයුතුවලදී බලරහිත කිරීම මෙම සංශෝධනයෙන් සිදු කෙරෙනවා. 1983 මැයි 01 දින සිට 2009 මැයි 18 අතර කාලය තුළ සිදු වූ සිද්ධීන්ගෙන් අවාසි සහගත තත්ත්වයට පත්වූවන්ට මේ මඟින් සහන සැලසෙනවා. 

     

    යම් අධිකරණයකදී සිය අයිතිවාසිකම් අනුව ක්‍රියාකිරීමට හෝ විත්ති වාචික ඉදිරිපත් කිරීමට නීතිය මඟින් නියම කර තිබියදී ත්‍රස්තවාදී ක්‍රියා හේතු කරගෙන ඇති වන කරුණු මත එවැනි දේ ඉදිරිපත් කිරීමට නොහැකි වූ අයට මේ අනුව සිය කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසෙනවා. මේ අනුව හිමිකම් ප්‍රතිලාභ ලබාගත හැක්කේ පනත ක්‍රියාත්මක කර මාස 12ක කාලයක් තුළ පමක් බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya