අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    RIU රිසෝර්ට් අහුන්ගල්ල සඳහා මුල් ගල තැබේ

    අගෝස්තු 06, 2014
    එයිට්කන් ස්පෙන්ස් සමාගම අභිනවයෙන් ඉදිකිරීමට නියමිත RIU රිසෝර්ට් අහුන්ගල්ල හෝටල් සංකීර්ණය සඳහා මුල්ගල් තැබීමේ උත්සවය පසුගිය දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
     
    මේ සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන යන මහත්වරු ද සහභාගී වූහ. 
     
    ස්පාඤ්ඤයේ RIU හොටෙල්ස් ඇන්ඩ් රිසෝර්ට්ස් සමාගම සහ එයිට්කන් ස්පෙන්ස් සමාගම අතර හවුල්කාරීත්වයෙන් ගොඩනැගෙන ඇමරිකානු ඩොලර් මිලියන 100ක වටිනාකමකින් යුතු මෙම හෝටල් සංකීර්ණය කාමර 501කින් සමන්විත වන අතර එහි ඉදිකිරීම් කටයුතු 2016 වර්ෂයේ අවසන් කිරීමට නියමිතය. 
     
    දක්ෂිණ අධිවේගී මාර්ගය, මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වැනි දක්ෂිණ සංවර්ධන ව්‍යාපෘතිවලට සමගාමීව මෙම හෝටල් සංකීර්ණය ඉදිකිරීමට නියමිතය.
     
    මුල්ගල් තැබීමේ උත්සවයේ දී අදහස් දක්වමින් සමාගමේ සභාපති, හැරී ජයවර්ධන මහතා පවසා සිටියේ දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට කරා ළඟාවන වන කාලසීමාව ඇතුළත හෝටල් සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බවය. දැනටමත් මත්තල ගුවන්තොටුපොළ අනාගත ව්‍යාපාර කටයුතු සඳහා නිසි ලෙස ස්ථානගත වී ඇති බවද එයිට්කන් ස්පෙන්ස් සමාගම නිරන්තරයෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය සඳහා උපරිම දායකත්වය ලබාදෙන බවද ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
     
    එමෙන්ම මෙම විශාල ආයෝජනය වත්මන් රජය සිදුකරන යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සඳහා සමාගම දක්වන සහයෝගය පිළිබිඹු කරන බවද ඒ මහතා පෙන්වා දුන්නේය. 
     
    හෝටල් ක්ෂේත‍්‍රය තුළ සමාගම සිදුකරන සියලුම සංවර්ධන කටයුතු, රජය සංචාරක ක්ෂේත‍්‍රය තුළ සිදුකරන සංවර්ධන කටයුතු හා සමගාමීව සිදුවන බවද මෙහිදී ප්‍රකාශ විය. 
     
    2005 වසරේ වාර්ෂික වාර්තාවට තමන් සිදුකළ ප‍්‍රකාශයක් උපුටා දක්වමින් හැරී ජයවර්ධන මහතා පැවසූයේ 2004 වසරේ ඇති වූ සුනාමි ව්‍යසනයත් සමග සමාගම දේශීය හා විදේශීය වශයෙන් ප‍්‍රසාරණයකට ලක් කිරීමටත්, ඒ සඳහා ගෝලීය දැක්මකින් යුතු ව තම බහුජාතික පාර්ශවකරුවන් සමග හවුල් වීමටත් තීරණය කළ බවය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස එම වසරේදී ලෝක ප්‍රකට සංචාරක සමාගමක් වන RIU සමාගම සමග හවුල් ගිවිසුමකට එළැඹීමට එයිට්කන් ස්පෙන්ස් සමාගමට හැකිවිය. එම වාර්ෂික වාර්තාවෙන් ජයවර්ධන මහතා තවදුරටත් පෙන්වා දුන්නේ ඉහළ සංචාරක වෙළෙඳපොළක් ආකර්ෂණය කරගැනීම සඳහා ශ‍්‍රී ලංකාව තුළ යටිතල පහසුකම් සංවර්ධනය ඉතා වැදගත් බවය.
     
    යුද්ධය නිමාවීමත් සමග ඇති වූ සාමකාමී වටපිටාව සහ වත්මන් රජය විසින් සිදුකරන යටිතල පහසුකම් සංවර්ධනය තුළින් උපරිම ප‍්‍රයෝජන ලබා ගැනීම පෞද්ගලික අංශයේ වගකීම බව ජයවර්ධන මහතා මෙහිදී පවසා සිටියේය. එමෙන්ම තම සමාගම විදේශයන්හි සංවර්ධන කටයුතු සිදු කළ බවත්, දේශීය සංවර්ධන කටයුතු තුළ RIU රිසෝර්ට් අහුන්ගල්ල විශාල පියවරක් බවත් අවධාරණය කළේය. 
     
    ජ්‍යාත්‍යන්තර RIU ජාලය 1953 වසරේ RIU පවුලේ සමාජිකයන් විසින් මෙලෝකා නගරයේදී ස්ථාපිත කරන ලද අතර RIU තෙවන පරපුර විසින් වර්තමානයේ මෙය පවත්වා ගෙන යයි. මෙම හෝටල් ජාලයේ විශේෂත්වය වන්නේ එක් ස්ථානයක් සිට සියලු ම සංචාරක පහසුකම් අත්විඳීමට අවැසි සංචාරකයන් හට සියල්ල අන්තර්ගත සංචාරක පැකේජයන් ලබාදීමයි. RIU හෝටල් ජාලය රටවල් 16ක් තුළ 100කට අධික හෝටල් සංකීර්ණ සමගින් වසරකට සංචාරකයන් මිලියන 3.2 අධික ප‍්‍රමාණයකට සේවා සපයනු ලබයි.
     
    හෝටල් සංකීර්ණය කාමර 501කින් සමන්විත වේ. මෙහි කාමර 438ක් යුගල කාමර වන අතර කාමර 30ක් පවුල් සඳහා ද කාමර 20ක් තනි පුද්ගලයන් සඳහා ද වෙන් කර ඇත. හෝටල් සංකීර්ණය සුයිට්ස් නම් වූ විශේෂ කාමර 13කින් ද සමන්විත වී ඇත. එමෙන්ම සුඛෝපභෝගී හෝටල් සංකීර්ණයකට අත්‍යවශ්‍ය ආපනශාලා පහසුකම්, නාන තටාක, ජිම් සහ ස්පා පහසුකම්වලින් සමන්විත වේ.
     
    එක් වහලක් යට සියලු පහසුකම් ලබා දීමේ සංකල්පය යටතේ මෙම හෝටල් සංකීර්ණය පැය විසිහතර පුරා ක‍්‍රියාත්මක අවන්හල්, විදුලි සෝපාන පහක් සහ නාන තටාක තුනක් නිර්මාණය වේ. 
     
    එමෙන්ම පවුලේ සියලුම සමාජිකයන් හට සතුටුවීමේ හැකියාව ලබාදෙමින් ළමුන් සඳහා වෙන් වූ නාන තටාකයක්, ක‍්‍රීඩා පිට්ටනිය සහ ජල ක‍්‍රීඩා උද්‍යානයක් මෙම හෝටල් සංකීර්ණයට ඇතුළත් වේ.
     
    ගුවන් මගීන් 300ක් එකවර ප‍්‍රවාහනය කළ හැකි බෝයිං 787 ඩ්‍රීම් ලයිනර් මාදිලියේ ගුවන් යානා සෑම සතියක් තුළ ම මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පියාසර කර වීමට RIU සමාගම බලාපොරොත්තු වන අතර ඒ හරහා RIU රිසෝර්ට් වෙත සංචාරකයින් ගෙන ඒමට අපේක්ෂා කරයි. 
     
    සමාගම විසින් සිදු කරනු ලබන මෙම සංවර්ධන ව්‍යාපෘතිය සංචාරක අංශයේ වර්ධනය සඳහා පමණක් නො ව සමස්තයක් ලෙස ශ‍්‍රී ලංකාවේ දකුණු පළාත සංවර්ධනයට ද ඉවහල් වනු ඇතැයි සමාගම බලාපොරොත්තු වේ.
     
    DB
     
    HE riu 1
     
    HE riu 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya