අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (06) පාර්ලිමේන්තුවේ දී සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව පවත්වමිනි.
"අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය ජනතාවට පහදා දීමට මම ගම් දනව්වලට යනවා. විදේශ ප්‍රතිපත්තිය ගැන ජනතාවට අවබෝධයක් තිබිය යුතුයි. මෙරටේ වසර 30ක යුද්ධයක් පැවතුණ කාලයේ කිසි ම දිනක ජිනීවාවල මානව කොමිසමට කිසි ම යෝජනාවක් ඉදිරිපත් වුණේ නැහැ. යුද්ධය අවසාන අවධියේ ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ විදේශ ඇමතිවරු පැමිණ යුද්ධය නතර කරන්න කිව්වා. එදා ජනාධිපතිතුමා ඔවුන්ව මුණ ගැසුණේ ඇඹිලිපිටියේදීයි. එහිදී ජනාධිපතිතුමා මිලිබෑන්ඩ් මහතාට කිව්වා මෙය ඔබේ යටත් විජිතයක් නො වේ කියලා. එදා යුද්ධය නතර කරන්න එකඟ වුනා නම් මේ යෝජනා කිසිවක් ජිනීවාවලට එන්නේ නැහැ.
2010 සැප්තැම්බර් 4 වැනි දා රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ චෙන්නායි නගරයේදී කිව්වේ මොකක්ද? හැමදේම ජාත්‍යන්තරයට භාරදෙමු කියා කිව්වා. එය හින්දු පත්‍රයේත් පළ වුණා. අප බෙලහීනද? එහෙම කළා නම් කවුද යෝජනා ගේන්නේ. මෙවැනි යෝජනා වසර 30ක් ගෙනාවත් අප පිළිගන්නේ නැහැ. අප රටේ ප්‍රශ්න විසඳන්න කියා ප්‍රබල රටවල් හමුවේ අප දණ නමන්නේ නැහැ. මානව හිමිකම් සම්මේලනයේදී ඡන්දය ගත්තේ කොහොමද? තර්ජනය කරලයි. සත්‍ය පදනම් කර ගෙන අප ලෝකයට කරුණු ගෙනාවා. චීනය, රුසියාව හා ඉන්දියාව නැති ලෝක මතය කුමක්දැ ?යි අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.
අද මෙහි දී අවමන් සහිතව අප්‍රිකානු රටවල් ගැන කතා කළා. එය යටත් විජිත ආකල්පයක්. ටැන්සානියාවට ගිය විට අපට විවේචන එල්ල වුණා. ජනාධිපති ලංකාවට පැමිණි පසු ඔබාමා මහතා එහි ගියා. එවිට විවේචන නතර වුණා.
අද චීනය සමඟ ඇති සබඳතාව නිසා වෙළඳ ගිවිසුමක් ළඟදීම ඇති කර ගන්නවා. ජපානය අපට පක්ෂව සිටිනවා. ලංකාව ලුහුබැඳ ගොස් ප්‍රහාරාත්මක ප්‍රහාර දීම අනුමත කරන්නේ නැති බව ඉන්දියාව කිව්වා. සිරිල් රම්පෝසා ජුනි 23 දින ලංකා සංචාරය ගැන කීවේ කුමක්ද? ඔහු ලංකාවේ සංචාරයේ වැදගත්කම කිව්වා. ජිනීවා සම්මත යෝජනාවේ ඇත්තේ දේශීය යාන්ත්‍රණයයි. නමුත් 10 වන ඡේදයේ ජාත්‍යන්තර පරීක්ෂණයක් ගැන කියනවා. අප එයට විරුද්ධයි. මෙය විදේශීය විමර්ශනයක් නොවයි.
ජාත්‍යන්තර නීතිය අනුව මැදහත්වීමට හැක්කේ අපේ රටේ නීතියේ හිඩැසක් ඇති නම් පමණයි. අපගේ යාන්ත්‍රණය හොඳින් සිදු වෙනවා. විදේශීය උපදේශන මණ්ඩලයක් පත්කිරීම නිසා අපේ ස්ථාවරය වෙනස් වී නැහැ. මේ විදේශීය විද්වතුන් අවශ්‍ය උපදෙස් දීමට පමණයි. 2012 දී උගත් පාඩම් කොමිසම පැවැත්වුණා. එහි නිර්දේශ අනුව කටයුතු කරන අපිට තර්ජනයක් නැහැ. තර්ජනයක් නිසා මේ උපදේශකවරු පත් කළා කියන කතාව අසත්‍යයක්. ජනාධිපතිතුමා පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපතිවීම ගැන කාට ඉරිසියාවක් තිබුණත් අපේ රටට අභිමානයක්.
අපනයන භාණ්ඩවල වටිනාකම ඉහළ යාම විදේශ ප්‍රතිපත්තියේ එක් අංගයක්. ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය සමඟ හොඳ සබඳතාවක් තිබුණේ නැහැ. ඒ රටවල් සම්බන්ධයෙන් අද ඇති වී තිබෙන සබඳතාවල තත්ත්වය ඉතා හොඳයි. පලස්තීනයට ලංකාවේ සහය ලැබෙනවා. හැමදාම අපේ එකම ස්ථාවරයයි. එහි වෙනසක් නැහැ. අවුල් ඇති කිරීමට විවිධ ප්‍රකාශ කළා. පලස්තීනයට අපගේ ප්‍රතිපත්තිය ගැන ප්‍රශ්නයක් නැහැ. ඉන්දියාව සමඟ අපේ සබඳතාව ඉතා හොඳයි. වරදක් සිදු වූවාම එය නිවැරැදි කර තිබෙනවා. එසේ වූවා කියා සබඳතාව කඩා වැටෙන්නේ නැහැ.
විග්ගේෂ්වරන් මහතා සමඟ අපේ ගැටුමක් නැහැ. ප්‍රශ්නයක් විසඳීමට ක්‍රම දෙකක් තිබෙනවා. එකක් නැති දේ පුන පුනා කීමයි. අනෙක තියන දේ හොඳින් ක්‍රියාත්මක කිරීමයි. උතුරු පළාතේ ජනතාවට හොඳින් සේවය කිරීමට අවශ්‍ය බලය දී තිබෙනවා. නැති දේ ඉල්ලීම වෙනුවට තියන බලය හොඳින් ක්‍රියාත්මක කිරීම සුදුසුයි. තේරීම් කාරක සභාවට එන්න. තවත් උත්සාහයක් දරන්න. අපට සහය තිබෙනවා. ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලට ජනාධිපතිතුමා සහභාගී නොවීම ගැන සිතා බලන්න. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ගැන කතා කරන අය ජනාධිපතිතුමා රැස්වීමක කතා කිරීමට ගිය විට අවස්ථාව ලබා දුන්නේ නැතැයි" ද විදේශ අමාත්‍යවරයා පැවසීය.
HC/NDH