අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුඹුරු ගොඩකිරීම්වලට එරෙහි ව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන්න

    අගෝස්තු 05, 2014
    අනවසරයෙන් සිදුකරන කුඹුරු ඉඩම් ගොඩකිරීම්වලට එරෙහි ව දැඩි නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය. 
     
    එවන් ස්ථාන පිළිබඳ සොයා බැලීමට මැදිහත් වන ලෙස පොලීසියට ද උපදෙස් දුන් ජනාධිපතිතුමා ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කරන ලෙස ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ද උපදෙස් දුන්නේ ය. 
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙම උපදෙස් ලබාදුන්නේ කුරුණෑගල දිස්ත‍්‍රික් විශේෂ සංවර්ධන රැස්වීමට ඊයේ (04) එක් වෙමිනි. මෙම රැස්වීම කුරුණෑගලදී පැවැත්විණි.
     
    කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මෙතෙක් ක‍්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය හා ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම හමුව කැඳවා තිබුණි.
     
    වර්ග කිලෝමීටර 4816ක් වූ දිස්ත‍්‍රික්කයේ මුළු ජනග‍හණය 1,624,000 කි. කෘෂිකර්මාන්තය මෙහි ප‍්‍රධාන ජීවනෝපාය මාර්ගය වේ. වී වගාව, අතිරේක බෝග, එළවළු, පලතුරු, අපනයන බෝග, පොල් දිස්ත‍්‍රික්කය තුළ වගා කෙරේ. මෙම බෝග නිෂ්පාදන කටයුතුවල නිරත ගොවීන් මුහුණ පා ඇති ගැටලු කිහිපයක් පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කෙරිණි. 
     
    ප‍්‍රදේශයක් තුළ සංවර්ධන වැඩපිළිවෙළ ජයග‍්‍රහණය කරවිය හැක්කේ එම ජනතාවගේ ජන ජීවිතය ගොඩනැගීමට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමෙන් බව ද පැවසු ජනාධිපතිතුමා ග‍්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය මාර්ග සවිබල ගැන්වීමට රජය මේ වන වට ප‍්‍රමුඛත්වයක් ලබා දී කටයුතු කරන බව ද පැවසීය. 
     
    ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කරගැනීම සඳහා ණය මුදල් ලබාගැනීමට තමන් වෙතට පැමිණෙන ගනුදෙනුකරුවන් අධෛර්යමත් නොකර ඔවුන් දෙස සංවේදීව බලා ඔවුන් දිරිමත් කිරීම බැංකු සතු වගකීමක් බව ද ජනාධිපතිතුමා කියා සිටියේ ය. 
     
    දිස්ත‍්‍රික්කයේ ජනතාව මුහුණ දී සිටින අලි මිනිස් ගැටුම පිළිබඳව ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරිණි. අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීම සඳහා පසුගිය අයවැය තුළින් ද රජය විශාල මුදලක් ලබා දුන් අතර ඉදිරි අයවැය තුළින් ද අවශ්‍ය ප‍්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා පැවසීය. 
     
    දිස්ත‍්‍රික්කයේ වාරිමාර්ග සංවර්ධනය සඳහා රජය විශේෂ අවධානයක් යොමු කර කටයුතු කරමින් සිටී. ක‍්‍රියාත්මක වෙමින් පවතින දැදුරු ඔය ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා පැවසුවේ විරෝධතා හමුවේ වුව ද සංවර්ධන කටයුතු අඛණ්ඩව ක‍්‍රියාත්මක කිරීමේ ප‍්‍රතිලාභ අද ජනතාවට ලැබී ඇති බවය. එබැවින් සංවර්ධනයට අත දෙනවා මිස එය ආපසු හැරවීමට කිසිවකු උත්සාහ නොකළ යුතු බව ද ජනාධිපතිතුමා පැවසීය. 
     
    දිස්ත‍්‍රික්කයේ ඉඩම් ගැටලු, පානීය ජල ගැටලු, වැව් ප‍්‍රතිසංස්කරණ කටයුතු මෙන්ම කුරුණෑගල නගරයේ පදික වෙළෙඳුන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. 
     
    දිස්ත‍්‍රික්කයේ පොල් නිෂ්පාදනය පිළිබඳව ද අවධානය යොමු කළ අතර පොල් ආශ‍්‍රිත කර්මාන්ත 502ක් දිස්ත‍්‍රික්කය තුළ ක‍්‍රියාත්මක වන අතර ඒවායේ මතුව ඇති ගැටලු පිළිබඳව ද අවධානය යොමු විය. එසේම දිස්ත‍්‍රික්කයේ වාර්මාර්ග සංවර්ධන කටයුතු පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කෙරිණි. 2005/2013 දක්වා දිස්ත‍්‍රික්කයේ ප‍්‍රතිසංස්කරණය කෙරුණු වැව් සංඛ්‍යාව 2116ක් පමණ විය.
     
    මීට අමතර ව දිස්ත‍්‍රික්කයේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ ද විශාල ප‍්‍රගතියක් ලබා ඇති අතර ඉදිවෙමින් පවතින කුරුණෑගල රෝහලේ මාතෘ වාට්ටු සංකීර්ණය ගල්ගමුව මූලික රෝහලේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව අවධානය යොමු විය.
     
    දිස්ත‍්‍රික්කයේ මාර්ග සංවර්ධන කටයුතු ඉතා ඉහළ මට්ටමක පවතින අතර ඒ ශ්‍රේණියේ මාර්ග කි.මී. 135ක් බී ශ්‍රේණියේ මාර්ග 286 ක් සී හා ඩී ශ්‍රේණියේ මාර්ග කි.මී. 662ක් මෙන්ම පළාත් මාර්ග කි.මී. 5560ක් සංවර්ධනය කර ඇත. දිස්ත‍්‍රික්කයේ දරුවන්ගේ ක‍්‍රිඩා කුසලතා ඉහළ නැංවීමට ද විශේෂ අවධානයෙන් කටයුතු කරන අතර දිස්ත‍්‍රික්කය තුළ සිදුකෙරෙන ක‍්‍රීඩා පිටි සංවර්ධන කටයුතු පිළිබඳව ද අවධානය යොමු කෙරිණි. 
     
    දිස්ත‍්‍රික් කමිටු රැස්වීමට සහභාගීවීමට ප‍්‍රථමයෙන් වයඹ ආණ්ඩුකාර කාර්යාල පරිශ‍්‍රය වෙත ද ගිය ජනාධිපතිතුමා එහි ඇති බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරත විය.
     
    ජ්‍යේෂ්ඨ අමාත්‍ය එස්.බී. නාවින්න, අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, මහින්ද සමරසිංහ, අනුර ප‍්‍රියදර්ශන යාපා, ජගත් පුෂ්පකුමාර, එස්.එම්. චන්ද්‍රසේන, ටී.බී. ඒකනායක, මහින්ද අමරවීර, ජයරත්න හේරත්, සාලින්ද දිසානායක, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස ආර්. බලල්ල, ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ශාන්ත බණ්ඩාර, සාරානාත් බස්නායක, නෙරංජන් වික‍්‍රමසිංහ, නිමල් විජේසිංහ යන මහත්වරුන් ඇතුළු දිස්ත‍්‍රික්කයේ මහජන නියෝජිතයන් ද ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මුදල් අමාත්‍ය ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු අමාත්‍යංශ ලේකම්වරු සහ රජයේ නිලධාරීහු මීට එක්වී සිටියහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya