අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපනයට වැට කඩොළු බැඳිය නොහැකි බව ජනපති පවසයි

    සැප්තැම්බර් 21, 2019

    සෑම විෂය ක්ෂේත්‍රයකට ම අදාළ ව රාජ්‍ය මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල ද පැවතිය යුතු බව තම ප්‍රතිපත්තිය බව පැවසූ ජනාධිපතිතුමා රාජ්‍ය විශ්වවිද්‍යාලවල පවතින අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය ඒ අකාරයෙන් ම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල ද පැවතීම අනිවාර්ය බව කියා සිටියේ ය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ජෙනරාල් සර් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෙත අන්තර්ග්‍රහණය කරන ලද වෛද්‍ය සිසුන් සහ දෙමාපියන් සමඟ ඊයේ (20) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවති හමුව අමතමිනි.

    මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ විදෙස් රටවල අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් විදේශ විනිමය ලෙස වසරකට රුපියල් කෝටි 800ක මුදලක් පිට රටට ගලා යන බවයි.

    අධ්‍යාපනයේ තරගකාරිත්වයට වැට කඩුලු බැඳිය නොහැකි අතර එම අභියෝගය ජයග්‍රහණය කළ හැකි අන්දමින් අධ්‍යාපන ක්‍රමය සංවර්ධනය විය යුතු බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

    පසුගිය වසර කිහිපය පුරා ඇතමුන් විසින් තම පටු දේශපාලන වුවමනා ඉටු කර ගැනීම සඳහා විශ්වවිද්‍යාල සිසුන් මෙහයවුව ද එම සිසුන් රැක ගනිමින් ඔවුන්ගේ ගැටලු විසඳා දීමට තමන් කැපවූ බව ද ජනාධිපතිතුමා මෙහි දී සඳහන් කළේ ය.

    රටේ ම දරුවන් තම දරුවන් ලෙස සලකන බව පැවසූ ජනාධිපතිතුමා දෙමාපියන් තම දරුවන්ට ආදරය කරන තරමින් පාලකයන් ද රටේ දරුවන්ට ආදරය කළ යුතු බව ද කියා සිටියේ ය.

    මෙහි දී ජනාධිපතිතුමා වෛද්‍ය සහ ඉංජිනේරු සිසුන්ගෙන් විශේෂ ඉල්ලීමක් ද සිදුකරමින් කියා සිටියේ පළමු පත්වීම ලබා අවම වශයෙන් වසර 10ක් වත් සිය මාතෘ භූමිය වෙනුවෙන් සේවය ලබා දෙන ලෙස රටේ ප්‍රධාන පුරවැසියා ලෙස තමා එම සියලුදෙනාගෙන් විවෘත ඉල්ලීමක් සිදු කරන බවයි.

    පළමු පත්වීම් ලැබීමටත් පෙර ඇතැම් වෛද්‍යවරුන් සහ ඉංජිනේරුවන් රට හැර යාම ඛේදවාචකයක් බව පැවසූ ජනාධිපතිතුමා එය රටේ ඉදිරි ගමනට අභියෝගයක් බවත්, රටට ආදරය කිරීමට මෙන්ම තමන්ගෙන් රටට ඉටුවිය යුතුකම් පිළිබඳ උසස් අධ්‍යාපනයෙන් දී එම සිසුන්ට දැනුමක් ලබාදීමේ වැදගත්කම ද පැහැදිළි කළේ ය.

    ආරක්ෂක ලේකම් ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ, ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය යන මහත්වරුන් සහ ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya