අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතියේ සහ මතු පරපුරේ අනාගතය සුරක්ෂිත කිරීමට නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක විය යුතු බව ජනපති පවසයි

    ජූනි 29, 2019

    පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් ප්‍රමුඛ ලක්ෂ සංඛ්‍යාත තරුණ ජීවිත බිලිගනිමින් දිනෙන් දින ව්‍යාප්තවන නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම වළක්වමින් ජාතියේ සහ මතු පරපුරේ අනාගතය සුරක්ෂිත කිරීමට නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

    මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වැරදිකරුවන් වී බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් සිව් දෙනෙකුට මරණීය දණ්ඩනය ලබාදීම සඳහා තමා මේ වන විට අත්සන් තබා ඇති අතර ඊට විරුද්ධව කථා කරන සියලු පිරිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සහය වන්නන් බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුව, ලංකාපුර විජිත මහා විද්‍යාලයේ (28) පෙරවරුවේ පැවති උත්සවයක දී ය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා අත්සන් තැබුවේ කිසිවෙකු කෙරෙහි වෛරයෙන් හෝ ක්‍රෝධයෙන් නොව මෙම දරුණු සමාජ ව්‍යසනයෙන් ජාතිය සහ මතු පරපුර බේරාගැනීම වෙනුවෙන් බවයි.

    එබැවින් එම වැඩපිළිවෙළ ආපසු හැරවීමට කිසිවෙකු උත්සහ නොදැරිය යුතු අතර එක්සත් ජාතින්ගේ මහලේකම්වරයා සමග ද තමා මේ පිළිබඳ ඊයේ රාත්‍රියේ දුරකථන සංවාදයක නිරතවෙමින් කරුණු පැහැදිලි කළ බව ජනාධිපතිතුමා කියා සිටියේය.

    මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන තමා අද ඊයේ ආරම්භ කළ එකක් නොවන බවයි. මෙම දරුණු සමාජ ව්‍යසනයෙන් ජාතිය ගලවා ගැනීම තමා ආරම්භ කළ දීර්ඝකාලීන වැඩපිළිවෙළක් බවත් එම ගමනේ දී විවිධ බාධා එල්ල වූ අතරම ජනාධිපතිවරයා ලෙස සියලුදෙනාගේ සහයෝගයන් එම වැඩපිළිවෙල අද සාර්ථක අවසානයක් කරා මෙහෙයවමින් සිටින බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    පිබිදෙමු පෙළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ලංකාපුර විජිත මහා විද්‍යාලයේ ඉදිකෙරුණු පන්තිකාමර 15කින් යුත් තෙමහල් ගොඩනැඟිල්ල  පෙරවරුවේ ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 30 කි.

    සමරු ඵලකය නිරාවරණය කර ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක නිරතවෙමින් සිසු ක්‍රියාකාරකම් ද නිරික්ෂණය කළේය.

    විද්‍යාලයේ දරුවන්ගේ ඉල්ලීම පරිදි විද්‍යාලයට අවශ්‍ය උපකරණ ලබා ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදීම ද මෙහිදී සිදු කෙරිණි.

    උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ද විදුහල්පති ආර්.ඩී. වීරසූරිය මහතා සහ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya