අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තම දිස්ත්‍රික්කයේ සංවර්ධනයට කැපවීම එම දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලු අමාත්‍යවරුන්ගේ වගකීම බව ජනපති පවසයි

    ජූනි 28, 2019

    තමන් නියෝජනය කරන දිස්ත්‍රික්කයට අසාධාරණයක් සිදු නොකර තමන්ට ලැබෙන ප්‍රතිපාදනවලින් එම දිස්ත්‍රික්කයට අවශ්‍ය සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කැපවීම සියලු අමාත්‍යවරුන්ගේ වගකීම බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ (27) පස්වරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.

    ප්‍රාදේශීය දේශපාලන නායකයන් ක්ෂේත්‍ර නිලධාරින් සමග එක්ව ග්‍රාමීයව ජීවත්වන ජනතාවගේ ගැටලු සොයා බැලීමට කටයුතු කිරීමේ වැදගත්කම ද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා තම ප්‍රදේශවල දිළිදුභාවයෙන් ඉහළ ගම්මාන තෝරා ගනිමින් ආදර්ශ ගම්මාන ලෙස ඒවා සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට ද උපදෙස් දුන්නේය.

    එමෙන්ම ජනතාවට සහන ලබාදීමේ දී කිසිදු අවස්ථාවක පක්ෂ බේද සැලකිල්ලට ගත යුතු නොවන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සමාලෝචනයට ලක් කෙරිණි.

    වැඩ අවසන් ව්‍යාපෘතිවල ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට ලබාදීමට ද ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    පානීය ජල ගැටලු, කෘෂි ක්ෂේත්‍රයේ ගැටලු, සෞඛ්‍ය පහසුකම්, මාර්ග ඉදිකිරීම්, පාසල්, විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවල සංවර්ධනය සඳහා ගෙන යන වැඩසටහන් මෙන්ම පොළොන්නරුව නගර සැලැස්මට අදාළ සංවර්ධන කටයුතුවල ප්‍රගතිය ද මෙහිදී විමසා බැලිනි.

    පොළොන්නරුව නාගරික මාර්ග සංවර්ධනයෙන් ඉඩම් අහිමි වූ 150 දෙනෙකුට වන්දි මුදල් ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා සහ දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් ද, දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරිහු මීට එක්ව සිටියහ.

    මේ අතර අලුත්වැව යෞවන සමාජ බහුකාර්ය ගොඩනැඟිල්ල අද පස්වරුවේ විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි. තැපැල් කාර්යාලයක්, සංස්කෘතික මධ්‍යස්ථානයක්, ශ්‍රවණාගාරයක් ඇතුළු පහසුකම් රැසකින් මෙම ගොඩනැඟිල්ල සමන්විතය.

    උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, නගරාධිපති චානක සිදත් රණසිංහ, යෞවන සමාජයේ සභාපති බුද්ධික ඒකනායක යන මහත්වරුන් සහ ප්‍රදේශයේ යෞවන යෞවනියන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya