එම පණිවුඩයේ මෙසේ ද සඳහන් වේ.
අනුබුදු මිහිදු මාහිමියන්ගේ අසිරිමත් ලංකාගමනයෙන් 2326 වසක් සපුරමින් උදා වූ උතුම් පොසොන් පුන් පොහෝ දිනය අදට යෙදී තිබේ. පොසොන් දිනය වනාහි ලක්දිව බුදු සසුනේ ආරම්භයටත්, බෞද්ධ ශිෂ්ටාචාරයේ පදනම සකස්වීමටත් මූලික වූ මතු අනාගතය පුරාත් සාදර සිතින් අනුස්මරණය කැරෙන අග්‍රතම ජාතික පූජෝත්සව අවස්ථාවයි.
විවිධ ජන ඇදහිලි, විශ්වාස, පුද පූජා ඇසුරේ සිටි ජනතාවකට මහින්දාගමනයෙන් උරුම වූයේ අහිංසාව පදනම් කොටගත් සංවිධිත ආගමකි. මේ වූ කලී ආගමික ජීවිතයට මෙන්ම ප්‍රායෝගික ජීවිතයට ද නව පරමාර්ථයක් එක් කළ ඓතිහාසික සංසිද්ධියකි. ත්‍රිපිටක ධර්මය, මතු නොව ලේඛන කලාව, ගෘහ නිර්මාණ ශිල්පය, ප්‍රතිමා කර්මය, ස්තූප නිර්මාණ ශිල්පය යනාදී සියලු ක්ෂේත්‍රයන්හි උදාව සිදුවෙමින් දේශීය සංස්කෘතියේ අර්ථපූර්ණ පරිවර්තනයකට හේතුකාරක වූයේ පොසොන් පෝදා යෙදුණු මිහිදු මාහිමියන්ගේ ආගමනයයි.
බුදු දහම ලෝක ස්වභාවය පදනම් කොටගත් ධර්මයක් වීමත්, කෘෂි ජීවිතයට අදාළ ස්වාධීන ධර්ම මාර්ගයක්වීමත් නිසා එය මෙරට සමාජයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්තියට පත් වූයේය. බෞද්ධ භික්ෂූන් හට ප්‍රධානත්වය හිමි වන අධ්‍යාපන ක්‍රමයක් ද මිහිදු මාහිමියන් විසින් හඳුන්වා දෙනු ලැබ මෙරට තිරසරව පිහිටියේය. අටසැට ලෙන් ශ්‍රී ලංකාවේ මුල්ම අධ්‍යාපනික මධ්‍යස්ථාන බවට පත් වූ අතර ලෙන්, ගුහා සහ භික්ෂූන් සාමූහිකව විසූ පිරිවෙන්, විහාරාරාම සේ වැඩි දියුණු විය.
මිහිදු හිමියන් ලක්දිවට වැඩ අසූවස් සපිරෙන තෙක් දිවි ගෙවූ මිහින්තලාව උන්වහන්සේගේ ලෝකාර්ථචර්යාවට කැප වූ ජීවිතයත්, අත්‍යුදාර ශාසනික සේවාවන් සිහිපත් කැරෙන මහා ස්මාරකයක් වැන්න, සොබාදහමේ අපූර්ව දායාදයක් බදු මෙවැනි ගිරි මුදුනක දිවිගෙවමින් උන්වහන්සේ ලාංකේය රජ දරුවන්ටත්, මහජනතාවටත් ප්‍රකට කෙළේ ප්‍රකෘතිය ඇසුරේ විඳිය හැකි නිරාමිස ප්‍රීතියයි. පොසොන් පොහෝදා අපට උරුම වූ ඒ මාහැඟි සහනශීලී ආගමික සංස්කෘතියේ හරය වන අප්‍රමාණ මෛත්‍රිය හා සාමකාමී සහජීවනය පෙරදැරි උත්තර පරමාදර්ශය, ලාංකේය ජන හදවත් තුළ තහවුරු විය යුතු මොහොත මෙය වේ, මුළු මහත් ශ්‍රී ලාංකික ප්‍රජාවගේ පොසොන් පෝදා පරමාදර්ථය විය යුත්තේ එයයි. ඒ ආධ්‍යාත්මික සුපෝෂණයත් සංස්කෘතික ආඩ්‍යත්වයත් සුරක්ෂිත කිරීම අප සැමගේ වගකීමක් ද වේ.
ඒ සඳහා ලක්වැසි ඔබ සැමට දිරි බල නැණ බල ලැබෙන සුබ පොසොන් මංගල්‍යයක් වේවා යැයි ප්‍රාර්ථනා කරමි.