අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත‍්‍රස්තවාදය විනාශ කර යහපත් සාමකාමී රටක් ගොඩනැඟීමේ වගකීම අවංකව ඉටුකරනවා – ජනපති

    මැයි 11, 2019

    ත‍්‍රස්තවාදය හේතුවෙන් තමා කිසිඳු පසුබෑමකට ලක් නොවන අතර ත‍්‍රස්තවාදය අවසන් කර, යහපත් සාමකාමී රටක් ගොඩනැඟීමේ වගකීම අවංකව ඉටුකරන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    එහිදී ආරක්ෂක අංශ විශිෂ්ට මෙහෙවරක් ඉටුකරමින් සිටින අතර ත‍්‍රස්තවාදය නිමාකර සාමකාමී රටක් ගොඩනැඟීමේ ගෞරවය ති‍්‍රවිධ හමුදාව, පොලිසිය, බුද්ධි අංශ ඇතුළු සියලුදෙනාට හිමිවන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    එමෙන්ම අපේ‍්‍රල් 21 වනදා සිදුවීමට වගඋත්තරකරුවන් වන ඕනෑම අයෙකුට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ අද (11) පෙරවරුවේ උහන මහා විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේ පැවති ‘රට වෙනුවෙන් එකට සිටිමු’ සංවර්ධන වැඩසටහන් මාලාවේ අම්පාර දිස්ති‍්‍රක් වැඩසටහනේ අවසන් ප‍්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.

    මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ මෙවන් ත‍්‍රස්ත ප‍්‍රහාරයන්ට ලක් වූ ලොව සෑම රටකම පාලකයන් විසින් ඉතා කෙටි කලක් තුළ එම රටවල් සාමකාමී රටවල් බවට පත්කර ගැනීමට පියවර ගත් අතර ඊට එම රටවල දේශපාලනඥයන් රාජ්‍ය නිලධාරින් ඇතුළු සියලුදෙනා සාමුහිකත්වයෙන් රට වෙනුවෙන් අත්වැල් බැඳගෙන සිටි බවයි.

    තමා ද රාජ්‍ය නායකයා ලෙස මේ රටේ ආරක්ෂක අංශ කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් ගෙවී ගිය දින 20 පුරා ඔවුන් නිසි කළමනාකරණයකට ලක් කළ බව කියා සිටි ජනාධිපතිතුමා එම වගකීම ආරක්ෂක අංශ විසින් ඉතා විශිෂ්ට ලෙස ඉටුකර තිබෙන බවත් තමාට මෙන්ම මේ රටේ සෑම පුරවැසියෙකුටම අපගේ ආරක්ෂක අංශ කෙරෙහි විශ්වාසය තැබිය හැකි බවත් සඳහන් කළේය.

    එහෙත් කනගාටුවට මෙන් බෝම්බ පුපුරන තෙක් බලා සිටින කුහක දේශපාලනඥයන් පිරිසක් ද අද රට තුළ සිටින අතර මෙවන් අවාසනාවන්ත තත්ත්වයක දී වුවත් තම පහත් පෙළේ දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට ඔවුන් දරන උත්සාහයන් පිළිබඳ තමන් දැඩිව කනගාටුවට පත්වන බව ජනාධිපතිතුමා කියා සිටියේය.

    ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ මෙවන් සිදුවීම් හමුවේ රටේ සංවර්ධන වැඩපිළිවෙළ හා දෛනික ජන ජීවිතය අඩාළ කරගතහොත් ජයග‍්‍රහණය කරන්නේ ත‍්‍රස්තවාදය බවයි.

    එබැවින් ජාතික ආරක්ෂාව කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් රට වෙනුවෙන් තම දෛනික කාර්යයන් නිසි ලෙස ඉටුකිරීමට සියලුදෙනා කැපවිය යුතු බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ජනතාව වෙනුවෙන් සංවර්ධන වැඩපිළිවෙළ කිසිදු ප‍්‍රමාදයකින් තොරව ඉදිරියට කි‍්‍රයාත්මක කළයුතු බවත් එහිදී මෙරට ලක්ෂ 16ක් වූ රාජ්‍ය සේවකයින්ට පෙර පැවති වගකීමට වඩා වැඩි වගකීමක් පැවරී ඇති බවත් සඳහන් කළේය.

    ජනතා ගැටලු කාර්යක්ෂමව හඳුනා ගනිමින් ඒ සඳහා කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් ලබා දීමේ අරමුණින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව “රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහන කි‍්‍රයාත්මක කෙරෙන අතර, ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලය යටතේ කි‍්‍රයාත්මක කර ඇති ජාතික වැඩසටහන් ඇතුළු අමාත්‍යාංශ මට්ටමින් කි‍්‍රයාවට නංවා තිබෙන සංවර්ධන ව්‍යාපෘති වඩා වේගවත් සහ විධිමත් කරමින් ජනතාවට උපරිම ප‍්‍රතිලාභ ලබාදීම ද වැඩසටහනේ අරමුණයි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිතුමා කියා සිටියේ සංවර්ධනයෙන් අඩු දිස්ති‍්‍රක්ක තෝරා ගනිමින් දීප ව්‍යාප්තව මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කිරීම අරමුණ බවත් මීළඟ වැඩසටහන මුලතිව් දිස්ති‍්‍රක්කය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට අපේක්ෂා කරන බවත්ය.

    නැගෙනහිර පළාතේ සංවර්ධනය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා උහන මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කිරීමට ඉදිරි මසක් තුළ පියවර ගන්නා බවත් එහි සංවර්ධනය වෙනුවෙන් ලබන සතිය වන විට රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදීමට කටයුතු කරන බවත් කියා සිටියේය.

    “ශ‍්‍රී ලාංකීය සමාජ, ආර්ථික හා සංස්කෘතික පුනරුදය වෙනුවෙන් පොදුජන මෙහෙවර සමග එකට සිටිමු” තේමාව යටතේ දීප ව්‍යාප්තව කි‍්‍රයාත්මක වන ‘රට වෙනුවෙන් එකට සිටිමු’ වැඩසටහන් මාලාවේ තුන්වන අදියර අම්පාර දිස්ති‍්‍රක්කය කේන්ද්‍රකර ගනිමින් පසුගිය 06 වනදා ආරම්භ කෙරිණි.

    උහන, අක්කරෙයිපත්තු, අම්පාර, කල්මුණේ, පොතුවිල්, සයින්දමර්දු, තිරුක්කෝවිල්, දමන ඇතුළු දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20 ම ආවරණය කරමින් ජන ජීවිතය නඟා සිටුවීම වෙනුවෙන් ව්‍යාපෘති රැසක් ඒ යටතේ කි‍්‍රයාත්මක කෙරුණු අතර පාසල් සිසුන්, වැඩිහිටි හා තරුණ ප‍්‍රජාව, විශ‍්‍රාමිකයන්, රාජ්‍ය නිලධාරින්, රාජ්‍ය නොවන ආයතන හා ස්වේච්ඡා සංවිධාන මට්ටමින් ජනතාව සිංහල, දමිළ හා මුස්ලිම් භේදයකින් තොරව විශාල උනන්දුවකින් යුතුව මෙම වැඩසටහන් සඳහා එක්ව සිටිනු දක්නට ලැබිණි.

    දෙදහස් එකසියයකට අධික වූ මෙම සංවර්ධන හා සේවා ව්‍යාපෘති සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 92 ක් වන අතර ප‍්‍රතිලාභී පවුල් සංඛ්‍යාව හාරලක්ෂ පනස්දහස ඉක්මවයි. දිස්ති‍්‍රක්කයේ සංවර්ධනය වෙනුවෙන් තවත් රුපියල් මිලියන 130ක් වැය කරමින් වැඩසටහන් රැසක් ඉදිරියේ දී කි‍්‍රයාවට නැංවීමට නියමිතව තිබේ.

    අද පැවති සමාප්ති අවස්ථාවේ දී ප‍්‍රතිලාභ රැසක් දිස්ති‍්‍රක්කයේ ජනතාව වෙනුවෙන් ලබාදීම සිදුවූ අතර ආගමික ස්ථානවල සංවර්ධනය සඳහා ප‍්‍රදානයන් සිදු කිරීම, රෝහල් සඳහා ගිලන් රථ ඇතුළු උපකරණ ප‍්‍රදානය, පානීය ජල පද්ධති සහ වකුගඩු රෝගී පවුල් වෙත ගෘහස්ථ ජල පෙරණ යන්ත‍්‍ර ලබාදීම, ඉඩම් ඔප්පු ලබාදිම, ස්මාර්ට් ශ‍්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ව්‍යාපෘතිය වෙනුවෙන් වගකීම් පැවරීම, ළමා නිවාස සඳහා ආධාර ප‍්‍රදානය, ස්වයං රැකියා හා ජීවනෝපාය මාර්ග සංවර්ධන ණය ලබාදිම, මිරිදිය ධීවරයන් වෙත දැල් ආම්පන්න ලබාදීම සහ කුඩා පරිමාණ ව්‍යාපාර වෙත කෘෂි උපකරණ කට්ටල බෙදාදීම, පොල්පැළ හා කජු පැළ බෙදාදීම, පාසල් සඳහා කී‍්‍රඩා උපකරණ ප‍්‍රදානය, ආබාධිත පුද්ගලයන් සඳහා රෝද පුටු ප‍්‍රදානය ඇතුළු වැඩසටහන් රැසක් ජනාධිපතිතුමා අතින් සංකේතවත් කෙරිණි.

    මහා සංඝරත්නය ප‍්‍රමුඛ පළාතේ අන්‍යාගමික පූජකවරුන් ද, හිටපු අග‍්‍රාමාත්‍ය දී.මු ජයරත්න, අමාත්‍ය දයා ගමගේ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශ‍්‍රියානි විජේවික‍්‍රම, හිටපු අමාත්‍ය පී. දයාරත්න යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු රැසක් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya