අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ වත්මන් තත්ත්වය දේශපාලන අරමුණු හෝ ජාතිවාදි අරමුණු වෙනුවෙන් භාවිතයට නොගන්නා ලෙස ජනපති ඉල්ලයි

    මැයි 10, 2019

    ත්‍රස්ත අභියෝගයෙන් රට නිදහස් කර ගනිමින් ජාතික සමඟිය ගොඩනැඟීමේ ක්‍රියාදාමයේ දී පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඇතැමුන් කරන ප්‍රකාශ බාධාවක් වී ඇති බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ සමස්ත ලංකා ජම්මියතුල් උලමාවරුන්ගේ සංවිධානය ඇතුළු මුස්ලිම් සිවිල් සංවිධාන නියෝජිතයන් සමඟ   ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ය.

    මෙහි දී ජනාධිපතිතුමා කියා සිටියේ අද දවසේ රටට ආදරය කරන සියලු පුරවැසියන්ගේ වගකීම විය යුත්තේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් හඬ නැඟීම නොව, ප්‍රශ්නය පිළිබඳ සැබෑ අවබෝධයෙන් රටේ ජීවත්වන සියලු ජනතාවට නිදහස් සාමකාමී සමාජයක් ගොඩනැඟීම සඳහා වගකීම් ඉටු කිරීම බවයි.

    ව්වේචන අවශ්‍ය නමුත් එම විවේචන සාධාරණ විය යුතු අතර ද්වේශ සහගත විවේචන සේම තොරතුරු නොදැන අනවබෝධයෙන් කරන විවේචන බොහෝ හිස් දේ බවට පත්වන බව ජනාධිපතිතුමා කියා සිටියේය.

    බහු ආගමික රටක් ලෙස කිසිදු ආගමිකයෙකු අපහසුතාවයට පත් නොකළ යුතු බව ද ජනාධිපතිතුමා මෙහි දී පෙන්වා දුන්නේ ය.
    එබැවින් පාර්ලිමේන්තුවේ දී, ජන සමාජයේ දී හෝ කොතැනක හෝ තම හඬ අවදි කිරීමේ දී රටේ පවතින තත්ත්වය පිළිබඳ අවබෝධයෙන් සහ බුද්ධිමත්ව කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා සියලුදෙනාගෙන් ඉල්ලීමක් කළේය.

    මෙහිදී අදහස් දැක්වූ මුස්ලිම් සිවිල් සංවිධාන නියෝජිතයන් ප්‍රකාශ කළේ අහිංසක ජනතාව ඝාතනය කළ කුරිරු ත්‍රස්තවාදින් තම ප්‍රජාවට සම්බන්ධ අය ලෙස නොසලකන බවත්, මුස්ලිම් සමාජය අන්තවාදය සහ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් හෙළා දකින බවත් ය. එබැවින් මෙම අන්තවාදී ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම වෙනුවෙන් ආරක්ෂක අංශ වෙත ලබාදිය හැකි සෑම සහායක්ම ලබාදෙන බව මුස්ලිම් සංවිධාන නියෝජිතයෝ ප්‍රකාශ කළහ.

    එමෙන්ම ඔවුන් ඉල්ලා සිටියේ සෑම මුස්ලිම් ජාතිකයෙකු දෙසම ත්‍රස්තවාදියෙකු ලෙස නොබලන ලෙසයි. ඇතැම් අවස්ථාවල මුස්ලිම් ත්‍රස්තවාදීන් ලෙස මෙම ම්ලේච්ඡ ත්‍රස්ත කණ්ඩායම හඳුන්වාදීම හේතුවෙන් ප්‍රජාවක් ලෙස තමන් පත්ව ඇති අසීරුතාවය පිළිබඳ ජනාධිපතිතුමා වෙත කරුණු පැහැදිලි කළ මෙම නියෝජිතයෝ ඉස්ලාම් ධර්මය සහ මුස්ලිම් ජනතාවගේ සංස්කෘතිය පිළිබඳව ඇතැමුන් අනවබෝධයෙන් කරන ප්‍රකාශ හේතුවෙන් තමන් පත්ව ඇති අසිරුතාවය පිළිබඳව ද කරුණු කියා සිටියහ.
    අමානුෂික ලෙස ජීවිත විනාශ කළ මෙම ම්ලේච්ඡ ත්‍රස්තවාදයට සම්බන්ධ සියලුදෙනාට දැඩි දඬුවම් ලබා දෙන ලෙස මෙහිදී ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටි නියෝජිත පිරිස මෙහෙයුම් අතරතුර ත්‍රස්තවාදයට කිසිඳු සම්බන්ධයක් නොමැති ඉස්ලාමීය ආගමික ග්‍රන්ථ අත්අඩංගුවට ගැනීම් වැනි සිදුවන සුළු සිදුවීම් හේතුවෙන් පොදු මුස්ලිම් ප්‍රජාවට සමාජයේ දී මුහුණදීමට සිදුව ඇති අසිරුතාවයන් පිළිබඳව ද කරුණු කියා සිටියහ.

    එමෙන් ම ඉස්ලාම් ධර්මය පිලිබඳ ඉගැන්වීම් සිදුකරන ආයතන අදාළ නිර්දේශ යටතේ ක්‍රියාත්මක කිරීම, අන්තවාදයෙන් තොර සහජීවනයෙන් පිරි සමාජයක් පිළිබඳ සියලු දරුවන්ට විධිමත් අධ්‍යාපනයක් ලබාදීම, ශුද්ධ වූ කුරාණය සහ ඉස්ලාමී ඉගැන්වීම් පිළිබඳ සෙසු සමාජයට ද අවබෝධයක් ලබාදීම වැනි කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරිණි.

    මෙම නියෝජිතයෝ වැඩිදුරටත් පෙන්වා දුන්නේ සමාජ වෙබ් අඩවි සහ මුහුණු පොත ඔස්සේ පළවන ජාතිවාදය වපුරන ඇතැම් ප්‍රකාශ හේතුවෙන් සමාජයක් ලෙස සියලු ජන කොටස් අපහසුතාවයට පත්ව ඇති බවයි. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මෙම ක්‍රියාවන් පටුපස සිටිමින් ඒවා මෙහෙයවන පිරිස් වහාම හඳුනාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලෙස ද ඔවුහු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

    රටේ සෑම පුරවැසියෙකුට ම අභියෝගයක් වූ ත්‍රස්තවාදය මැඬැලීමට ඉතා කෙටි කලකින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගත් පියවර මෙහි දී සියලුදෙනාගේ පැසසුමට ලක් වූහ.

    බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි, පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙම හමුවට එක්ව සිටී අතර සමස්ත ලංකා ඉස්ලාමීය ආගමික විද්වතුන්ගේ සංගමය ඇතුළු මුස්ලිම් සංවිධාන 40 ක පමණ නියෝජිතයෝ එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya