අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොලොන්ගොල්ල වැව ජනතා අයිතියට පවරාදීම සහ “සිරිසර අවුරුදු වන අරණක අවුරුදු උදාව” හෙළ අවුරුදු මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන්

    අප්‍රේල් 07, 2019

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ක්‍රියාත්මක කර තිබෙන “සිරිසර පිවිසුම” වැව් 500ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ ප්‍රතිසංස්කරණය කෙරුණු පදවිය, ශ්‍රීපුර කොලොන්ගොල්ල වැව ජනතා අයිතියට පවරාදීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (06) පෙරවරුවේ සිදු විය.

    එමෙන්ම උතුර දකුණ යා කරන ජාතීන් අතර සංහිඳියා යාන්ත්‍රණයට ජීවය දෙමින් ක්‍රියාත්මක වන “එකටසිටිමු” වැඩසටහන යටතේ ජනතාව අතර සංහිඳියා සංකල්පය ප්‍රචලිත කිරීමත් එහි අර්ථය තවදුරටත් ජනතාවට අවබෝධ කරවීමත් අමුණු කොට ගනිමින් ,සිරිසර අවුරුදු වන අරණක අවුරුදු උදාව, හෙළ අවුරුදු මංගල්‍යය දිනය පුරා කොලොන්ගොල්ල වැව්තාවුල්ලේ දී පැවැත්වෙන අතර එම අවස්ථාවට ද ජනාධිපතිතුමා එක් විය.

    සියක් නමක් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා ප්‍රතිසංස්කරණය කෙරුණු කොලොන්ගොල්ල වැව ජනතා අයිතියට පවරා දෙනු ලැබීය.

    සතර දෙසින් පැමිණි ප්‍රජාව විසින් තම බව බෝග ජනාධිපතිතුමා වෙත ලබාදෙමින් ඒවා හුවමාරු කර ගැනීම ද සිදු කෙරිණි.
    අනතුරුව ජනාධිපතිතුමා විසින් පිරිත් පැන් වැව් ජලය වෙත මුදාහැරිය අතර මත්ස්‍ය පැටවුන් වැව වෙත මුදාහැරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    ආදිවාසි ජනතාව විසින් මෙහිදී සම්ප්‍රදායානුකූලව කිරිකොරහ නර්තනය ඉදිරිපත් කළ අතර අනතුරුව අමුත්තන් ගැමි ගෙදර වෙත කැඳවාගෙන ගොස් හෙළ සංස්කෘතියට අනුව කැවිලි පෙවිලිවලින් සංග්‍රහ කෙරිණි.

    ඉන් අනතුරුව ජනාධිපතිතුමා, ආදිවාසි නායක වන්නිලා ඇත්තන්, යුද හමුදාපතිතුමා, වන්නි ආඥාපති ඇතුළු පිරිස ගැමිගෙදර දී සංවාදයකට ද එක් විය.

    “සිරිසර අවුරුදු වන අරණක අවුරුදු උදාව” හෙළ අවුරුදු මංගල්‍යය විවිධ ජන ක්‍රීඩා, අවුරුදු චාරිත්‍ර හා විවිධ සංස්කෘතිකාංග රැසකින් සමන්විතව අති උත්කර්ෂවත් අවුරුදු උලෙළක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ සංවිධානත්වයෙන් පැවැත් වේ.

    එහි මැරතන් ධාවන තරඟයේ ජයග්‍රාහකයන් වෙත තිළිණ පිළිගැන්වීම සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.
    ආදිවාසි නායක වන්නිල ඇත්තන් සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ඇතුළු යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් එම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර කොළඹ නිදහස් චතුරශ්‍රයේ ඇවිදින්නන්ගේ සාදර අනුග්‍රහයෙන් සංවිධානය කෙරුණු බක්මහ උළෙලක් එම පරිශ්‍රයේ දී අද දිනය පුරා පැවැත්වෙන අතර එම අවස්ථාවට ද ජනාධිපතිතුමා එක් විය.

    සුවතා කවයේ සාමාජිකයින් විසින් මෙහිදී ජනාධිපතිතුමා පිළිගනු ලැබීය.

    සිරිත් විරිත්වලට මුල් තැන දෙමින් පැවති මෙම බක්මහ උළෙලට සංස්කෘතිකාංග රැසක් එක් කර තිබුණි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya