මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බාලදක්ෂ ව්‍යාපාරය නව දැනුම සහ තාක්ෂණය සමඟ ඉදිරියට යා යුතු බව ජනපති පවසයි

    ඔක්තෝබර් 21, 2018

    බේඩින් පවෙල් සාමිවරයා විසින් ඇරඹූ බාලදක්ෂ ව්‍යාපාරයේ සිද්ධාන්තයන් හා අරමුණු එකල ආර්ථික, සමාජීය හා සංස්කෘතික ගති ලක්ෂණයන් අනුව සැකසී ඇති බැවින් එම අරමුණු ද ආරක්ෂා කරමින් දැනුම සහ තාක්ෂණය මුල්කරගත් නව ලෝකයට ගැළපෙන පරිදි ඒවායේ වෙනස්කම් සිදුවිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ මහනුවර පොල්ගොල්ල සමුපකාර ආයතනයේ පැවති 2014-2018 ජනාධිපති බාලදක්ෂ සම්මාන උලෙළට ඊයේ(20) පෙරවරුවේ එක්වෙමිනි.

    විභාගය සමත් වූ පමණින් දරුවන්ගේ ජීවිතය සමත්වීම තීරණය කළ නොහැකි බැවින් බාලදක්ෂ ව්‍යාපාරය ජීවිතය සමත්කර ගැනීමේ ප‍්‍රායෝගික අභියෝගය ජය ගැනීමට මනා පිටිවහලක් සපයන බව ද ජනාධිපතිතුමා මෙහි දී සඳහන් කළේ ය.

    මුදල් මත පදනම් වී ඇති තරගකාරී ලෝකයේ අවිනීත, අයහපත් දේ සමාජයට ගලායාමට ඇති විශාල ඉඩප‍්‍රස්ථාව තුළ අයහපත ඉවත දමා යහපත් පුරවැසියෙකු සේ හැසිරිය යුතු බව ද ජනාධිපතිතුමා කියා සිටියේ ය.

    වයස අවුරුදු 18 වන විට බාලදක්ෂයකු ජනාධිපති පදක්කම් ලබා ගැනීමට, ඉතාමත් භාරදුර කාර්යයන් රැසක් ප‍්‍රගුණ කළයුතු අතර ජනාධිපති බාලදක්ෂ සම්මාන උලෙළක් පැවැත්වෙන්නේ වසර 04 කට පසුවය.

    ශ‍්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ශ‍්‍රී ලංකාවේ බාලදක්ෂ දිස්ති‍්‍රක්ක 37 කින් ජනාධිපති පදක්කම් ලැබීමට සුදුසුකම් ලැබූවන් 1195 දෙනෙකු සම්මාන ලබා ගත්හ.

    බාලදක්ෂ ව්‍යාපාරයේ නව වෙබි අඩවිය විවෘත කිරීම ද මෙහි දී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    ගුවන් බාලදක්ෂ ජම්බෝරියට සහභාගි වී සිටින ශිෂ්‍යයින්ට සිය සුබපැතුම් එක් කිරීමට ද ජනාධිපතිතුමා කටයුතු කළේ ය.
    ශ‍්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය සඳහා දක්වන දායකත්වය වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත ද ශ‍්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් විශේෂ සම්මාන තිළිණයක් පිළිගැන්වී ය.

    නේපාලයේ ණ2 කඳුවැටිය තරණය කිරීමට පසුගියදා එක් වූ මහනුවර ධර්මරාජ විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායම වෙනුවෙන් ජනාධිපතිතුමා දැක්වූ අනුග‍්‍රහය සිහිපත් කරමින් ජනාධිපතිතුමා වෙත ගෞරව සම්මානයක් පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණි.

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ප‍්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මෙරිල් ගුණතිලක යන මහත්ම මහත්මීන් සහ දිවයිනේ සියලුම පළාත් නියෝජනය කරන බාලදක්ෂයන් හා බාලදක්ෂ බාලිකාවන් මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya