මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ද්‍රව්‍ය මැඩලීමට අවශ්‍ය දැඩි පියවර ගන්නා ලෙස පොලිසියට උපදෙස් ලබා දුන්නා - අගමැති

    ජූලි 16, 2018

    2015 දී සිට මත්ද්‍රව්‍ය මැඩලීමට අවශ්‍ය දැඩි පියවර ගන්නා ලෙස අප පොලිසියට උපදෙස් ලබා දුන්නා.එම නිසා මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය බිඳ හෙළීමට අප තීරණය කළා. සැපයීම් අඩපණ වෙනවා නම් බෙදාහැරීමට කිසිවක් ඉතිරි වන්නේ නැහැ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඉබ්බාගමුව නව ශ්‍රවණාගාරය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව


    අද ගොකරැල්ල පොලිස් ස්ථානයත්, ඉබ්බාගමුව දිසා ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයත් විවෘත කිරීමට මට අවස්ථාව ලැබුණා. පොලිසිය සහ දිසා ලේකම් කාර්යාල යනු රජයේ පරිපාලනය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ද්විත්වයයි. ඕනෑම රජයක මූලිකම යුතුකම වන්නේ පරිපාලනයත්, නීතියත් එක ලෙස ක්‍රියාත්මක කරමින් රට ඉදිරියට ගෙන යාමයි. සුදු ජාතිකයින් මෙරට පාලනය ආරම්භ කිරීමෙන් පසුව පළමුවෙන්ම මුලාදෑනින්, රටේ මහත්වරුන්, ආදීන් පත් කළා. ඉන් පසුව ඔවුන් පොලිසිය ඇති කළා.

    ආසියාවේ පැරණිතම පොලිස් සේවය ශ්‍රී ලංකා පොලිස් සේවයයි. පොලිස් සේවය ඇති කිරීමට අමතරව පොලිස් මුලාදෑනීන් ද පත් කර තිබුණා. ඉන් පසුව රටේ උප දිසාපති , ප්‍රාදේශීය ලේකම් ආදී කාර්යාල ඇති කළා. ගොකරැල්ල පොලිසිය ආරම්භ කළේ එස්.බී. හේරත් මන්ත්‍රීතුමාගේ කාලයේදීයි. මේ ආකාරයට නීතිය ක්‍රියාත්මක කිරීම සහ පරිපාලනය යන අංශ දෙකම අපි එකට ක්‍රියාත්මක කරනවා. නීතියක් නොමැති නම් පරිපාලනයක් හෝ පරිපාලනයක් නොමැති නම් නීතියක් හෝ ක්‍රියාත්මක වන්නේ නැහැ. රටේ ආණ්ඩුවක් ක්‍රියා කළ යුත්තේ මෙම අංශ දෙක නිසියාකාරව ක්‍රියාත්මක කිරීමටයි.

    නිසි පරිපාලනයක් ගෙන යාමට බාධා කරනවා නම්, දේශපාලනිකව මැදිහත් වෙනවා නම් , නීතිය ක්‍රියාත්මක වන්නේ නැතිනම් රටේ නීතියෙන් හෝ පරිපාලනයෙන් ප්‍රයෝජනයක් ඇත්තේ නැහැ. 2015 දී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ලෙස පත් කර ගනිමින් අප මේ රටේ පාලන බලය ලබා ගත්තේ රටේ නැති වෙමින් තිබූ නීතියත්, පරිපාලනයත් නිසියාකාරව ක්‍රියාත්මක කිරීමටයි.

    මේ ප්‍රදේශයේ පරිපාලනය කාර්්‍යයයේ යෙදෙන ලේකම්වරු, දිසා ලේකම්වරු ආදී නිලධාරීන් මෙම ස්ථානයේ සිටිනවා. ඒ වගේම ආණ්ඩුකාරතුමා, ප්‍රධාන ලේකම්තුමා මාර්ගයෙන් පළාතේ වැඩකටයුතු පාලනය වනවා. නිසි ක්‍රමවේදයකට අනුව පරිපාලන කටයුතු ගෙනයාමට ඔවුන් සහයෝගය දක්වනවා. ස්වදේශ කටයුතු අමාත්‍යංශය හරහා අපි ඊට අදාළ සම්බන්ධීකරණ කටයුතු සිදු කරනවා. ඒ වගේම නීතිය ක්‍රියාත්මක කිරීම අතිශය වැදගත් නිසා අප එයත් නිසියාකාරව ක්‍රියාත්මක කරනවා. පොලිසිය, පොලිස් විශේෂ බලකාය, වෙනත් අංශ ආදිය ඇති කරමින්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇති කරමින් අප නීතිය ඉදිරියට ගෙන යනවා.

    රටක් තුළ සාමාන්‍ය ජනතාවට ගැටළුවකින් තොරව ජීවත් විය හැකිද? රාත්‍රියේ මාර්ගයක බියෙන් සැකෙන් තොරව ගමන් කළ හැකිද? කාන්තාවකට ගැටළුවකින් තොරව තම වැඩකටයුතු ඉටු කරගැනීමට හැකිද ? , ආදියෙන් රටේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිඹිබු වෙනවා. රටක් පිළිබඳව නිගමනයකට එළóය හැක්කේ එම රටේ නීතිය ක්‍රියාත්මක වන ආකාරයටයි.

    2001 දීත් මෙවරත් මම අගමැතිවූ පසු පොලීසිය වෙනුවෙන් වෙනම අමාත්‍යංශයක් ඇති කළේ නීතියේ එම වැදගත්කම අවබෝධ කර ගත් නිසයි. වෙනත් දියුණු රටවලත් තත්ත්වය එයයි. අපේ කලාපයේ විශාලතම ත්‍රිවිධ හමුදා බලය තිබෙන ඉන්දියාවෙත් පොලිසිය ක්‍රියාත්මක වන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යංශය යටතේයි. ඇමරිකාවේ පොලිසිය එක් ලේකම්වරයකු යටතේත්, හමුදාව එක් ලේකම්වරයෙකු යටතේත් ක්‍රියාත්මක වෙනවා. මෙම  ආයතන දෙක එකට පාලනය කිරීමට නොහැකියි. හමුදාව යුද මෙහෙයුම් කටයුතු සිදු කිරීමේදී ඇතැම්විට නීති උල්ලංඝනය විය හැකියි. නමුත් පොලිසියට තිබෙන්නේ නීතිය ක්‍රියාත්මක කරමින් ආරක්ෂා කිරීමටයි. එම කාර්යයන් එකට මිශ්‍ර කළ නොහැකියි. අපේ රටේ මීට පෙර විවිධ ගැටළු ඇති වූයේ මේ ආකාරයට කටයුතු නොකළ නිසයි.

     

    පෙර සිටි පාලකයින් පොලිසිය සහ හමුදාව එකට එක් කරමින් පාලනය කළේ තම පුද්ගලික ආරක්‍ෂාව තහවුරු කර ගැනීමටයි. ඔවුන් තම තමන්ගේ දේපොළ ආරක්‍ෂාව, තම පුද්ගලයින්ගේ ආරක්‍ෂාව ආදිය සළසා ගනිමින් තමන් පමණක් දියුණු වුණා. නමුත් රටක් තුළ මෙවැනි ආයතන දෙකක් පිහිටා තිබෙන්නේ රටේ ආරක්‍ෂාව වෙනුවෙනුයි. එමනිසා 2015 වසරේ සිට පොලිසිය මේ රටේ අපරාධ වැළැක්වීමට, අපරාධ පරීක්‍ෂණ කරමින් වැරදිකරුවන්ට දඩුවම් දීමට ආදියට යොදවන්නට අපට හැකි වුණා. ඒ හරහා මේ වන විට රට තුළ විශාල වැඩ කොටසක් සිදු කර තිබෙනවා.

     

    මේ සියළු දේ වලට වඩා අද ග්‍රාමීය මට්ටමට බලපාන කරුණ වී තිබෙන්නේ මත්ද්‍රව්‍යයි. 2002 පමණ වන විට රටේ මත්ද්‍රව්‍ය බහුලව තිබුණේ කොළඹ නගරවල පමණයි. ඒ කාලයේ ක්‍රියාත්මක වූ පොලිසියට නීතිය නියමාකාරයෙන් පාලනය කිරීමට නොහැකි වූ නිසා අද වනවිට මත්ද්‍රව්‍ය ක්‍රම ක්‍රමයෙන් ග්‍රාමීය මට්ටම දක්වාම පැමිණ තිබෙනවා. අවාසනාවකට ඇතැම් විද්‍යාලවල පවා මත්ද්‍රව්‍ය තිබෙන තත්ත්වයක් දැන් නිර්මාණය වී තිබෙනවා. මේ ස්ථානයේ අපත් සමග සිටින දේශපාලනඥයින් අතුරින් තරුණම අමාත්‍යවරයා අකිල විරාජ් ඇමැතිතුමායි. එතුමාගේ කාලයේ වත් මත්ද්‍රව්‍ය මේතරම් ව්‍යාප්ත වී නොතිබුණු බව එතුමා දන්නවා. නමුත් අද රටේ ඕනෑම තැනක මත්ද්‍රව්‍ය තිබෙනවා. එය රටට විශාල ප්‍රශ්නයක්. 2002 දී නිසියාකරව නීතිය සාමය ක්‍රියාත්මක වුණා නම් අද ගමට මත්ද්‍රව්‍ය පැමිණෙන්නේ නැහැ. ඔවුන් ඒ
    කාලයේ මත්ද්‍රව්‍ය මර්ධනයට නොකිරීම මීට හේතුවයි.

    ඉහළින් මත්ද්‍රව්‍ය වැටලීමට නියෝග ආවත් ඊට පහළින් සිටි සියල්ලන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධව සිටියා. මත්ද්‍රව්‍ය සම්භන්ධයෙන් කවුරුන් හෝ අත් අඩංගුවට ගත් විට ඇතැම් දේශපාලකයින් සෑම ස්ථානයකටම දුරකථනයෙන් කතා කර ඔහු මුදාහරින ලෙස පවසනවා. ඒ ඔවුන් දේශපාලන හෙංචයියන් නිසායි. ඒ කාලයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කිරීම, කාන්තාවන් දූෂණය කිරීම ආදිය ප්‍රාදේශීය සභාවේ සභාපති වීමට මූලික සුදුසුකම් ලෙසයි හැදින්වූයේ. නමුත් 2015 දී සිට මත්ද්‍රව්‍ය මැඩලීමට අවශ්‍ය දැඩි පියවර ගන්නා ලෙස අප පොලිසියට උපදෙස් ලබා දුන්නා. අතීතයේදී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපවත්වනවා යැයි පවසමින් මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයකු පමණක් නීතියට හසු කරගන්නවා. බෙදා හරින්නෙකු පමණක් නීතියට කොටු කර ගැනීමෙන් මත්ද්‍රව්‍ය සැපයුම, ජාවාරම නතර වන්නේ නැහැ. විශාල පරිමාණික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දේශපාලන රැකවරණය දී තිබෙනවා නම් මත්ද්‍රව්‍ය බෙදාහරින්නන් පමණක් නීතියේ රැහැනට හසු කර ගැනීමෙන් පළක් නැහැ. ඒ තැනැත්තා නීතියට හසු වූ විට ''ඔයා හිරේට යන්න අපි ඔයාගේ පවුල බලා ගන්නම්'' ලෙස ජාවාරම්කරුවන් ඔවුන්ට පවසනවා. ඔවුන් බෙදාහැරීම් සඳහා බොහෝ විට යොදාගන්නේ අවිවාහක තරුණ පුද්ගලයින්. මෙම ජාවාරම් සිදු කරගෙන යන්නේ ඒ ආකාරයටයි. එම සැපයුම් දාමයට අතනොතබා මෙය මැඩපැවැත්විය නොහැකියි. එක් කෙනෙකු හෝ දෙනේනෙකු අල්ලා ගත් විට පුවත්පතක පළ කිරීමෙන් පළක් නැහැ. ඒ කාලයේ දිගින් දිගටම මාධ්‍ය හරහා මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව ප්‍රකාශ කළා නම් එම මාධ්‍යවේදීන් අතුරුදහන් වෙනවා. එකළ පැවති දේශපාලනයට මාධ්‍ය එතරම් බියක් දැක්වූවා.

    නමුත් 2015 දී අප මෙම ක්‍රමවේදය වෙනස් කළා. එම නිසා මත්ද්‍රව්‍ය සැපයුම් ජාලාව බිඳ හෙළීමට අප තීරණය කළා. සැපයීම් අඩපණ වෙනවා නම් බෙදාහැරීමට කිසිවක් ඉතිරි වන්නේ නැහැ. සිංගප්පූරුව වැනි රටවල් අපට පැවසුවේ තමන් පළමුවෙන් සැපයුම් ජාලය වෙත අවධානය යොමු කළ බවයි. රට තුළ බෙදාහැරීම් වෙත ඔවුන් අවධානය යොමු කර තිබුණේ ඉන් පසුවයි. එම වැඩකටයුත්ත ආරම්භ කරන්නේ කෙසේදැයි රංජිත් මද්දුමබණ්ඩාර ඇමැතිතුමාගෙන් සහ පොලිස්පතිතුමාගෙන් මම විමසුවා.

    2015 දී හෙරොයින් කිලෝග්‍රෑම් 46 ක්, 2016 දී කීලෝග්‍රැම් 207 ක්, 2017 දී කිලෝග්‍රෑම් 350 ක්, 2018 ගෙවුණු මාස 07 තුළ කිලෝග්‍රෑම් 150 ක් පමණ අත්අඩංගුවට ගත් බවට මට ඔවුන් වාර්තාවක් ලබාදුන්නා. සාම්පූර්හිදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය පිළිබඳව තොරතුරුද මේ වන විට පුවත්පත්වල පළවී තිබෙනවා. 2015 දී ගංජා කිලෝග්‍රෑම් 6570 ක්, 2016 දී කිලෝග්‍රෑම් 4178 ක්, 2017 දී කිලෝග්‍රෑම් 4987 ක්, 2018 ගෙවුණු මාස 07 තුළදී කිලෝග්‍රෑම් 2900 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2015 දී කොකේන් කිලෝග්‍රෑම් 06 ක් , 2016 දී කිලෝග්‍රෑම් 1571 ක්, 2017 දී
    221 ක්, 2018 දී ගෙවුණු මාස 07 තුළ දී කිලෝග්‍රෑම් 14 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අප දැන් සැපයුම් මූලයන් සඳහා ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. සැපයුම් අඩුවන විට කාරණා 02 ක් සිදුවනවා. ඉන් පළමුවැන්න නම් මත්ද්‍රව්‍ය මිල වැඩි වීමයි. මේ වන විට ලෝකයේ මත්ද්‍රව්‍ය මිලට වඩා ශ්‍රී ලංකාව තුළ මිල තුන් ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. දෙවන කාරණය නම් සැපයුම් ප්‍රමාණය අඩු වන නිසා බෙදාහරින්නන් අතර ගැටුම් ඇතිවී තිබෙනවා. ඔවුන් වෙඩිතබා ගැනීම් සිදු කරනවා. එවිට ජීවිත අහිමි වන තත්වයක් ඇති වී තිබෙනවා.

     

    ඔවුන් අතර ගැටුම් ඇති වන විට ඔවුන් පිළිබඳ තොරතුරු හෙළි වනවා.එවිට ඔවුන් අත්අඩංගුවට ගැනීම පොලිසියට වඩා පහසු වනවා. උණ රෝගය වැලදුණු රෝගියෙකුගේ උණ බැස යන කාලය වැනි තත්ත්වයක් දැන් රට තුළ නිර්මාණය වී තිබෙනවා. මේ රටේ සාමාන්‍ය ජනතාවට හානියක් නොවන ආකාරයට මෙම තත්වය මර්දනය කරන්න යැයි මම පොලිස්පතිතුමාටත්, අමාත්‍යතුමාටත් උපදෙස් ලබාදුන්නා. ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය සැපයුම්කරුවන් කිහිපදෙනෙක් රටින් පැනගොස් සිටින නිසා එම රටවල් වල සිට ඔවුන් ශ්‍රී ලංකාව තුළට මත්ද්‍රව්‍ය සැපයීමත් සිදු කරනවා. එය නතර කිරීමටත් අපට සිදුව තිබෙනවා.

    ඉන්දියාව, පකිස්ථානය, ඩුබායි ආදී රටවල්වල ඔවුන් ජීවත් වනවා. නීතිය හා සාමය අමාත්‍යතුමාත්, විදේශ කටයුතු අමාත්‍යතුමාත්, අධිකරණ අමාත්‍යතුමියත්, පොලිස්පතිතුමාත්, නීතිපතිතුමාත් දැනුවත් කරමින් අපි උපදෙස් ලබා දුන්නේ එම රටවල්වලට ගොස් මෙම පුද්ගලයින් නැවත රටට ගෙන ඒමේ නියෝග ලබාගන්නා ලෙසයි. ඊට අවශ්‍ය තොරතුරු අප මේ වනවිට එකතු කරමින් සිටිනවා. මේ ආකාරයට පොලීසියත්, විශේෂ බලකායත් හරහා මත්ද්‍රව්‍ය පාලනයට තදින් ක්‍රියා කරමින් සිටිනවා.


    ඒ සඳහා ආධාර උපකාර ලබාදීමට අප දැන් සූදානම්. මෙය සාර්ථක කර ගතහොත් මත්ද්‍රව්‍ය ජාවාරම් සමුපූර්ණයෙන් වැලැක්වීමට අපට හැකියාව ලැබෙනවා. එම නිසා මෙම වැටලීම් තවත් වැඩිකරන ලෙස මම ඇමැතිතුමාට උපදෙස් ලබා දුන්නා. මේ මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම සම්බන්ධයෙන් පසුගිය සතියේ කැබිනට් මණ්ඩල හමුවේදී ජනාධිපතිතුමාත් අදහස් දක්වා තිබුණා. ජනාධිපති කාර්යාලයත් මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව රටේ ජනතාව දැනුම්වත් කරමින් සිටිනවා. නීතිය හා සාමය අමාත්‍යංශයට භාරවී තිබෙන්නේ මත්ද්‍රව්‍ය උවදුර රටෙන් තුරන් කර දැමීමයි. එය අප ඉදිරියටම ගෙන යනවා. අප සැපයුම් ජාලයන් සොයා ගත යුතුයි. එක් බෙදාහරින්නෙක් හෝ දෙදෙනෙක් නීතියට හසුකර ගැනීමෙන් එය නතරවන්නේ නැහැ. ඒ වෙනුවෙන් ජනතාව, මේ රටේ තරුණ පරපුර දැනුම්වත් කිරීමට පූජක පක්ෂයත් එකතු කර ගත යුතුයි.

    මේ ප්‍රදේශයේ පොලිස් සේවාව දියුණු කිරීමට රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමා විශාල උනන්දුවක් දක්වනවා. බිම් මට්ටමේ පරිපාලන කටයුතු පාලනය ස්වදේශකටයුතු අමාත්‍යංශයට භාරව තිබෙනවා. එම නිසා වජිර අබේවර්ධන ඇමතිතුමා රට පුරාම මෙවැනි කාර්යාල, ශ්‍රවණාගාර ඇති කිරීමට අවශ්‍ය මුදල් ලබාදී තිබෙනවා. එසේ නම් ඉතා පහසුවෙන් ජනතාවට සේවය කිරීමට හැකි පරිසරයක් දැන් නිර්මාණය වී තිබෙනවා.


    ප්‍රාදේශීය ලේකම් කාර්යාල යනු රටේ පරිපාලනයේ කේන්ද්‍රස්ථානයක්. ගම්මට්ටම වෙනුවෙන් එතුමා සිදු කරන සේවාව අප අගය කළ යුතුයි. ඒ වගේම එතුමාගේ අනෙක් වැඩ කටයුතු අවසන් කිරීමටත් අප සහයෝගය ලබා දෙනවා. පරිපාලනය, නීතිය වර්ථමානයේ ඉතා සාර්ථකව රට තුළ ක්‍රියාත්මක වනවා. රටේ ආර්ථිකය නඟා සිටුවීම අපේ අනෙක් ප්‍රධාන කාර්යයි. ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමා සිටින්නේ එම වැඩකටයුත්ත වෙනුවෙනුයි. මේ රටේ බිම් මට්ටමේ කුඩා කර්මාන්ත සඳහා ආධාර උපකාර කිරීම එතුමාගේ අමාත්‍යංශයට භාරවී තිබෙනවා. කර්මාන්ත නවීකරණය කිරීමත් සිදු කළ යුතුයි.


    සෑම දියුණු රටක්ම සිය රටවැසියාට වැඩි වශයෙන් රැකියා ලබාදී තිබෙන්නේ රාජ්‍ය අංශයෙන් හෝ මහා පරිමාණ කර්මාන්ත අංශයෙන් නොවෙයි. බොහෝ දෙනෙක් රැකියා වල නිරත වන්නේ ප්‍රාථමික කර්මාන්ත මූලික කරගෙනයි. එම නිසා ප්‍රාථමික කර්මාන්තවල අගය වැඩි කිරීමේ විශාල වැඩකොටසක් එතුමා විසින් සිදු කරනවා. ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍යවරු ගණනාවක් අද මෙම ස්ථානයේ සිටිනවා. අධ්‍යාපන ඇමැතිවරයා වන අකිල විරාජ් ඇමැතිවරයා, අභ්‍යන්තර කටයුතු සහ වයඹසංවර්ධන භාර නාවින්න ඇමැතිතුමා, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල අමාත්‍යතුමා, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ අමාත්‍යතුමා සහ නීතිය සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර අමාත්‍යතුමාත් මෙහි සිටිනවා. මේ සියලූ දෙනාම රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් වැඩදායී ලෙස කටයුතු කරනවා. ඒ වගේම බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා ඇමැතිතුමාත් මෙහි සිටිනවා. ඒ ආකාරයට අමාත්‍යංශ ගණනාවක්ම මේ ප්‍රදේශයට ලැබී තිබෙනවා.

    පරිපාලනයත්, අධ්‍යාපනයත් සහ අංශ දෙකම කුරුණෑගලට ලැබී තිබෙනවා. මීටත් වඩා කුරුණෑගලට සැලකිය නොහැකියි. ඔබ ඉතා හොදින් රට සහ ජනතාව වෙනුවෙන් වැඩ කිරීමෙන් ලැබෙන පින බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම අමාත්‍යතුමාට භාර දෙන්න. එවිට එතුමාට ආගමික වැඩකටයුතු ඉදිරියට ගෙන යාමට හැකි වේවි. මේ අමාත්‍යවරු සියලූ දෙනාම විශාල වැඩකොටසක් රට වෙනුවෙන් සිදු කරනවා. ඒ පිළිබඳව අපට ආඩම්බර විය හැකියි. ඒ සඳහා අපට හැකි අයුරින් උදව් කරනවා. වයඹදිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩකටයුතු දැන් අලූතින් ආරම්භ කළ යුතුයි.

    මේ ප්‍රදේශයට කර්මාන්ත කලාප ගෙන එනවා. ඉදිරි වසරේ සිට ශ්‍රී ලංකාවේ පළමු වාහන කර්මාන්ත ශාලාව වයඹ ප්‍රදේශයේ ආරම්භ වෙනවා. සංචාරක ව්‍යාපාරය මේ ප්‍රදේශයේ දියුණු කරනවා. ඒ වගේම ගල්ගමුව සංවර්ධන යෝජනාත් ලබාගැනීමට නියමිතයි. වෙළඳ කලාප 02ක්, අධිවේගී මාර්ගය ඇතුළුව විශාල වෙනසක් මෙහි සිදු කිරීමට නියමිතයි. ඒ පිළිබඳව ඔබ සැකයක් ඇති කර ගන්නට එපා.

     

    අප ඉදිරියේ විවිධ ගැටළු තිබෙනවා. ගැටළු නොමැතිව ඉදිරියට යාමට නොහැකියි. විශේෂයෙන්ම මෙහි ආණ්ඩුකාර තුමාටත් අප ස්තඣතිවන්ත විය යුතුයි. ඒ වගේම පොලිසියේ සියලූ දෙනාටමත්, දිසා ලේකම්, ප්‍රාදේශීය ලේකම් ආදී සියලූ දෙනාටත්, ජගත් මංජුල මැතිතුමාටත් මම ස්තඣතිවන්ත වනවා. එදා මේ ප්‍රදේශය නියෝජනය කළේ ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමායි. ඉබ්බාගමුව සංවර්ධනය කළේ එතුමායි. ඉබ්බාගමුව මධ්‍යමහා විද්‍යාලය, ඇල මාර්ග ආදිය ගෙන එමින් විශාල සංවර්ධනයක්බ එතුමා ඇති කළා. කුරුණෑගල, ඉබ්බාගමුව,දාඩම්ගස්ලන්ද, මාවතගම මේ මැතිවරණ කොට්ඨාශ 04 ම එතුමා යටතේ පාලනය වුණා. එතුමා මගේ පියා සමග සමීපව ආශ්‍රය කළ නිසා මමත් එතුමාව හොදින් හඳුනනවා. ඉන් පසුව මේ ප්‍රදේශය නියෝජනය කළේ එස්.බී. හේරත් මැතිතුමායි. එතුමා මගේ ඉතා සමීප මිත්‍රයෙක්. ඔහු මෙම හිරියාල ප්‍රදේශය දියුණු කළා. එස්.බී. හේරත් මැතිතුමා යතුරු පැදි තරග සඳහාත් සහභාගී වූ අමාත්‍යවරයෙක් බව බොහෝ දෙනා දන්නේ නැහැ. මේ ප්‍රදේශයට තිබෙන්නේ එවැනි අතීතයක් බව මම අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා.

    මෙම අවස්ථාවට එජාප මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල, නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය නලින් බණ්ඩාර, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් සහ අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya