අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදු මගී සේවා වාහන පැදවීමට සපුරාලිය යුතු නව සුදුසුකම් මෝටර් වාහන පනතට

    ජූලි 08, 2014

    මාර්ග අනතුරු අවම කිරීමේදී රියැදුරු පුහුණුවේ ගුණාත්මක භාවයත් ජනතාව දැනුවත් කිරීම හා නියාමනය කිරීම වැනි කාරණා බලපාන බවත් ඒ වෙනුවෙන් මෝටර් වාහන පනත යටතේ නියෝග දෙකක් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පැවසීය.


    මෝටර් වාහන පනත යටතේ නියෝග දෙකක් අනුමැතිය ලබා ගැනීම සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.


    ශ්‍රී ලංකාවේ මාර්ගවල සිදුවන අනතුරු දිනෙන් දින ඉහළ යමින් පවතින අතර පසුගිය වසරේ වාර්තා වූ මාර්ග අනතුරු සංඛ්‍යාව 39,801ක් වේ. එයින් බරපතළ අනතුරු 6938ක් හා මාර්ග අනතුරු 2182 සිදු වී ඇති අතර මාර්ග අනතුරු නිසා 2340ක් මියගොස් ඇත. හඳුන්වා දී ඇති රක්ෂණ ක්‍රම අනුව වාර්තාවන හදිසි අනතුරු ප්‍රමාණයට වඩා විශාල සංඛ්‍යාවක් හදිසි අනතුරු සිදුවන බැවින් අමතර කොටස් සඳහා වැයවන විදේශ විනිමය ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. මෙම අනතුරු නිසා පීඩාවට පත්වන ජනතාව නිසා ආර්ථික හා සමාජීය ගැටලු රැසක් ද මතුවී ඇත.


    එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් 2011 - 2020 දක්වා මාර්ග අනතුරු අවමකර මාර්ග පාවිච්චි කරන්නන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කරන්නන්ගේ දශකය ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර ශ්‍රී ලංකාව ද මේ වනවිට එම දශකය ප්‍රකාශයට පත් කර ඇත.


    මාර්ග අනතුරු අවම කිරීමේදී රියැදුරු පුහුණුවේ ගුණාත්මක භාවයත් ජනතාව දැනුවත් කිරීම හා නියාමනය කිරීම වැනි කාරණා බලපානවා. ඒ වෙනුවෙන් මෝටර් වාහන පනත යටතේ නියෝග දෙකක් අනුමැතිය ලබා ගැනීම සඳහා ගෙන එනවා.


    ඒ අනුව දැනට සිදුවන මාර්ග අනතුරු අවම කිරීම සඳහා සියලුම ප්‍රධාන පාර්ශවකරුවන් විසින් ක්‍රමවේදයන් හා වැඩසටහන් සැලසුම් කර ඇති අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් රියැදුරන් හා රියැදුරු උපදේශකවරුන් පුහුණුකිරීම මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන් ම නියාමන කටයුතු සඳහා නීති සම්පාදනය කිරීමට ද පියවර ගෙන ඇත. ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන පනතේ 128 ආ වගන්තිය යටතේ ඇති ප්‍රතිපාදන යටතේ මගී සේවා වාහන සඳහා වූ නියෝග මාලාවක් 1848/29 ගැසට් පත්‍රයෙන් පළ කර ඇත. එම ගැසට් පත්‍රයේ නියෝගය 2015 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති අතර එහි මූලික වශයෙන් පහත සඳහන් කරුණු අන්තර්ගත කර ඇත.


    පොදු සේවා වාහනයක් වන මෝටර්කෝච් රථයක් පැදවීමට විශේෂ පිටසනක් ලබාගැනීමට ඉල්ලුම්කරුවකු විසින් සපුරාලිය යුතු සුදුසුකම් හා නියමයන් පිළිබඳව මෙසේ දක්වා ඇත.


    1.     වයස අවුරුදු 23 - 65 අතර තැනැත්තෙක් වීම.

    2.    අවුරුදු 2ක පළපුරුද්දක් ලබාතිබීම.

    3.    මගී සේවා වාහන පැදවීම සඳහා අවශ්‍ය වෛද්‍ය සහතිකයක් ලබා තිබීම.

    4.    ප්‍රථමාධාර හා කාර්මික දැනුම ඇති පුහුණුකිරීමේ ආයතනයක පාඨමාලාවක් සම්පූර්ණ කිරීම.

    5.    රියැදුරන් සදාචාර සම්පන්න ප්‍රතිපත්තිගරුක රිය පැදවීමට අවශ්‍ය දැනුම ලබාගැනීම.


    මෙම මූලික අවශ්‍යතාවන් සඳහා පාඨමාලාවක් සාර්ථකව අවසන් කිරීමේ දී ප්‍රථමාධාර දැනුම තුළින් හදිසි අනතුරකදී ක්‍රියාකළ යුතු ආකාරය හා ප්‍රථමාධාර ලබාදීම ගැන අවබෝධය, කාර්මික දැනුම මගින් වාහනයේ ක්‍රියාකාරිත්වය හා නඩත්තු කිරීම, සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම, සදාචාර සම්පන්න ප්‍රතිපත්ති ගරුක විනීත පාරිභෝගික සේවාවක් ලබාදීම සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ලබාදීමට අපේක්ෂිතය. ඒ අනුව ඉදිරියේ දී වඩාත් කාර්යක්ෂම හා ආරක්ෂාකාරී මගී සේවා ක්‍රියාත්මක කිරීම සඳහා අංක 1847/29 දරන ගැසට් නිවේදනය පළ කරන ලද අතර එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව ප්‍රවාහන අමාත්‍යරයා පැවසීය.


    තවදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන අමාත්‍යවරයා; “අවුරුදු 21 දී බස් ලයිසන් එකක් ගන්න පුළුවන් ඕනම කෙනෙකුට. ප්‍රායෝගික පරීක්ෂණයෙන් සමත්වෙලා. නමුත් බස් ලයිසන් එකක් ගත් පමණින්ම මගීන් ගෙන යන රියැදුරෙක් වෙන්න බැහැ. ඒක ලොකු වගකීමක්. බස් ලයිසන් එකක් අරගෙන අවුරුදු දෙකකට පසුව වයස අවුරුදු 23 වූ විට රියැදුරෙකුට මේ පාඨමාලාවට ඇතුල්වෙලා මේ පාඨමාලාව සම්පූර්ණ කරලා මගීන් ගෙන යන සහතිකය ලබාගත හැකි වෙනවා. ඉහත දක්වා ඇති කාරණා පහට යටත් ව ඉතා ම හොඳ රියැදුරෙක් බිහිකරන්න අපට පුළුවන් කම ලැබෙනවා. වැඩි හරියක්ම මාර්ග අනතුරු සිදුවන්නේ රියැදුරන්ගේ විනීතභාවයෙන් තොරවීම නිසා ඉතා වේගයෙන් පදවන නිසා ඇතිවන මාර්ග අනතුරු. මේ නිසා අප මේ පාඨමාලාව හඳුන්වා දුන් බවත් එහි ප්‍රථාමාධාර දැනුම, කාර්මික දැනුම සම්බන්ධව මෙන් ම විනීත රියැදුරෙක් ලෙස හොඳ පුහුණුවක් ලබාදීලා මගීන්ව ආරක්ෂාකාරී ලෙස ගෙනයන්න පුළුවන් ලෙස රියැදුරෙක් බිහිකිරීමට බලාපොරොත්තු වනවා.“


    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya