මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ ගොවි ජනතාවගේ ගැටලු විසඳමින් ඔවුන් නඟා සිටුවීමට විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරනවා

    ඔක්තෝබර් 15, 2017

     අතීතයේ අපේ රට ස්වයංපෝෂිත රටක් ලෙස ගොඩනැගීමට අසීමිත ධෛර්යෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව කෘෂිකර්මාන්තයේ නිරතවූ උතුරේ ගොවි ජනතාවගේ ගැටලු විසඳමින් ඔවුන් නැවතත් ශක්තිමත් ගොවිජනතාවක් ලෙස නගාසිටුවීමට විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ කිලිනොච්චිය විශේෂ කෘෂි ආර්ථික මධ්‍යස්ථානය ජනතා අයිතියට පවරාදීමේ උත්සවයට   (14) පස්වරුවේ එක් වෙමිනි.

    සියලුම ක්ෂේත‍්‍රවල දුර්වලකම් සහ අඩුපාඩුකම් සකස් කරමින් උතුරේ ගොවිජනතාවට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදෙන බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා උතුරේ ගොවි ජනතාව ණය බරින් නිදහස් කර ගැනීම සදහා අදාළ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සමග සාකච්ඡාකර සහනදායී වැඩපිළිවෙළකට එළැඹෙන බව ද සඳහන් කළේය.

    නැගෙනහිර ගොවි ජනතාව වෙනුවෙන් ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කයේ කුඩා හා මධ්‍යම වැව් 100 ක ප‍්‍රතිසංස්කරණ කටයුතු රජය මේ වන විට සිදු කරමින් සිටින අතර, උතුරු පළාතේ ද කුඩා සහ මධ්‍යම ප‍්‍රමාණයේ වැව් ප‍්‍රතිසංස්කරණය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    එමෙන්ම උතුරු පළාතේ පශු සම්පත් ක්ෂේත‍්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ද අදාළ ක්ෂේත‍්‍රවල සම්බන්ධීකරණයෙන් විශේෂ වැඩසටහන් කි‍්‍රයාත්මක කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    සමරු ඵලකය නිරාවරණය කර කෘෂි ආර්ථික මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

    කිලිනොච්චිය ජනතාවට කෘෂි නිෂ්පාදනවලට හොඳ මිලක් මෙන්ම පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට කෘෂි නිෂ්පාදන ලබාදීමේ අරමුණින් ඉදිකර ඇති මෙම කෘෂි ආර්ථික මධ්‍යස්ථානය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 101 කි.

    අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, පී.හැරිසන්, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන අංගජන් රාමනාදන්, කාදර් මස්සානා යන මහත්වරුන් ද, පොලිස්පති, ගුවන්හමුදාපති ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානීන් ද, ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර මිල්කෝ ආයතනයේ කිලිනොච්චි කිරි අලෙවිසැල අද (14) පස්වරුවේ විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි. කිරි අලෙවිසැල විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

    කිලිනොච්චියේ කිරිගොවීන් පිරිසක් ද මෙහිදී ජනාධිපතිතුමා හමු වූ අතර කිරි ගවයින් ලබා ගැනීම ඇතුළු ඔවුන්ගේ ගැටලු කිහිපයක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළහ. ඒ පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපතිතුමා අවශ්‍ය විසඳුම් කඩිනමින් ලබාදෙන බව ප‍්‍රකාශ කළේය.

    අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිරිසක්ද මෙහිදී ජනාධිපතිතුමා හමුවී ලිපියක් භාරදෙනු ලැබීය. ජනාධිපතිතුමා හමුවීමට පැය භාගයක කාලයක් ලබාදෙන ලෙස ඔවුන් කළ ඉල්ලීමට එකඟතාවය පළ කළ ජනාධිපතිතුමා ඒ සඳහා ඉක්මණින්ම වේලාවක් ලබාදෙන බව ප‍්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya