නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහානායක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමිට අගමැතිගෙන් සුභාශිංසන

    ඔක්තෝබර් 14, 2017

    සියම් මහා නිකායේ කෝට්ටේ සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ධූරන්දර, ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක ස්වාමීන්වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා සිය සුභාශිංසන එක් කර තිබේ.

    අගමැතිවරයා නිකුත් කළ සුභාශිංසන පණිවුඩය පහත සඳහන් වේ.

    " වප් මහේ 14 වන දින ජන්ම දිනය සමරන අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක හිමිපාණන් වහන්ස, බුදු සසුනට ද, සමස්ත දේශයට ද ආලෝකයක් වූ ඔබවහන්සේ, මාගේ ජීවිත ගමන තුළ ඉතා සමීපව ඇසුරු කරන්නට ලැබීම මා ලද භාග්‍යයක් ලෙස සලකමි.

    දෙස් විදෙස් කීර්තිමත් මහා පණ්ඩිත්‍යයෙන්, විචිත්‍ර ධර්ම කථිකත්වයෙන් සමස්ත බුදු සසුනට සහ පරපුරට ආදර්ශයක් වූ ඔබවහන්සේ, රටටත් ජනතාවටත් හිතැති ජාතික මෙහෙවරක් උදෙසා 1956 වසරේ යුග පෙරළියට මැදිහත් වෙමින් එදා මෙදා තුර රටේ අභිවෘද්ධිය සඳහා ලබාදුන් සුවිශේෂි දායකත්වය අද්විතීය වන්නේය.


    අප රට මුහුණ දුන් සමාජ, දේශපාලන අර්බුද හමුවේ නිහඬව නොසිට නිර්භයව මැදිහත් වූ ඔබවහන්සේ රටත් ජනතාවත් වඩා යහපත් තලයකට නඟා සිටුවන්නට සමස්ත ජීවිත කාලය පුරා මහත් කැපවීමෙන් කටයුතු කළ බව මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරමි.
    සසුන් සේවය, සමාජ සේවය, ශාස්ත්‍රීය සේවය ආදී වශයෙන් විවිධ පැතිකඩවලින් සමාජ ප්‍රගමනයට දායක වූ ඔබවහන්සේ මා සමඟ ද සමීපව කටයුතු කරමින් රාජ්‍ය කටයුතුවලදීත්, දේශපාලන කටයුතුවලදීත්, මා හට අවවාද අනුශාසනා ලබාදෙමින් නිරතුරුවම ධෛර්යමත්ව කටයුතු කිරීමට මඟපෙන්වීම පිළිබඳව කෘතවේදී වීමට ද මෙය අවස්ථාවක් කර ගනිමි.

    සුවිශේෂි නිර්මාණ සමූහයක් සහ ශාස්ත්‍රීය කෘති ගණනාවකින් පෝෂිත වූ ඔබවහන්සේගේ ලේඛණ දිවිය සමාජයට මඟ කියන පහන් ටැඹක් වැනිය. එමෙන්ම සසුන්භාරධාරී මහතෙර නමක් වූ ඔබවහන්සේ සසුනේ චිර පැවැත්ම වෙනුවෙන් ශිෂ්‍ය, ශිෂ්‍යානු පරපුරකට ආචාර්යපාදයාණන් වහන්සේ වෙමින් ඉටු කොට ඇති සසුන් මෙහෙවර ද මේ මොහොතේ සිහිපත් කරනුයේ ගෞරව පූර්වකය.
    අප සමාජය යහමඟ ගන්වනු සඳහා ඔබවහන්සේ ඉදිරියටත් අප්‍රමාදීව කටයුතු කරන බව දනිමි. එකී මෙහෙවර උදෙසා කැපවන්නට නිදුක් නීරෝගී සුවයත්, චිර ජීවනයත් මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි."

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya