නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව දේශාපලන විසඳුමෙන් රට පාවාදීමක් නැහැ - අගමැති

    සැප්තැම්බර් 24, 2017

    රජය ගෙන එන නව දේශපාලන විසඳුම රට පාවාදීමක් නොවන බවත් මේ ප්‍රශ්නය විසඳා ගන්නවා නම් අපේ රට සීඝ්‍රයෙන් දියුණු කිරීමට හැකියාව ලැබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා පැවසීය.


    ගාල්ල, වැකුණගොඩ පැවැති "නිල සෙවන" පොලිස් නිල නිවාස විවෘත කිරීමේ උත්සවයට සහභාගීවීමෙන් අනතුරුව අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

    අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

    "පොලිස් සේවයේ යෙදෙන නිලධාරීන්ට නිවාස ලබා දීමේ වැඩසටහන අපි දැන් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම පොලිස් නිලධාරීන්ට තමන්ගේම නිවසක් ඉදිකර ගැනීම සඳහා ණය ලබා ගැනීමේ ක්‍රමයක් සැලසුම් කර දෙන ලෙස මම, සාගල රත්නායක  ඇමැතිතුමාටත්, පොලිස්පතිතුමාටත් පැවසුවා. ඒ අනුව පොලිසියෙත්, රාජ්‍ය සේවයේ අනෙකුත් අංශවලත් නිලධාරීන්ට තමන්ගේම නිවසක් තනා ගැනීමට අවශ්‍ය පහසුකම් අප ලබා දිය යුතුයි.


    මෙම නිල නිවාස යෝජනා ක්‍රමයේ ඉතිහාසය වජිර අබේවර්ධන ඇමැතිතුමා පැවසුවා. අපේ යෝජනාවකට අනුව මෙම නිවාස යෝජනා ක්‍රමය ආරම්භ කළේ 2002 වසරේදීයි. මෙය ඉතා ඉක්මනින් ඉදිකර අවසන් කිරීමට අපි බලාපොරොත්තු වුණා. නමුත් ඊට පෙර අපට ආණ්ඩු බලය අහිමිවී වුණා. සුනාමි ව්‍යසනයෙන් පසුවත් එවකට පැවැති රජය මගින් මෙම නිවාස යෝජනා ක්‍රමයේ වැඩකටයුතු ඉදිරියට ගෙන යාවි යැයි අප බලාපොරොත්තු වුණා. නමුත් කටයුතු ඒ ආකාරයට සිදු වුණේ නැහැ. අවසානයේ එම යෝජනාව ගෙන ආ අපිම 2015 දී බලයට පත් වීමෙන් පසුව නිල නිවාසවල වැඩකටයුතු අවසන් කර දැන් ඔබට ලබාදී තිබෙනවා.

    මෙම නිවාස යෝජනා ක්‍රමයේ පළමු අදියර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් විවෘත කරනු ලැබුවා. ඒ වගේම පොලිස් සේවාවේ සුභ සාධනය පිළිබඳව සාගල රත්නායක මහතාගේ ඇති උනන්දුව නිසා පොලිස් සේවාව වෙනුවෙන් මෙම නිවාස යෝජනා ක්‍රමයෙන් නිවාස 100 ක් මිලදී ගෙන ජනතා අයිතියට පත් කිරීම සිදු කළා. පොලිස් සේවාවේ නිලධාරීන්ට නිල නිවාස ලබාදීමේ වැඩසටහනේ ආරම්භය එයයි.

    මෙම ප්‍රදේශය සියලූම පහසුකම්වලින් සපිරි ඉතා හොඳ ප්‍රදේශයක්. පොලිසියේ සේවය දෙස අවධානය යොමු කරන විට නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීම එක් අංශයක්. සේවයේ යෙදී සිටින නිලධාරී මහතුන්ගේ සුභ සාධනය අනෙක් අංශයයි. මෙම අංශ දෙකටම අවධානය යොමු කරමින් අප පොලිස් සේවය ඉදිරියට රැගෙන යා යුතුයි.
     
    2015 වසරින් පසු මේ රටේ දරුණු ගණයේ අපරාධවල අඩුවීමක් දක්නට ලැබෙනවා. ඒ වගේම එම කාලය තුළ අපරාධ විසඳීමේ ප්‍රතිශතය 70% ක පමණ ඉහළ අගයක් ගෙන තිබෙනවා. කෙසේ නමුත් අපි ඉන් සෑහීමකට පත් විය නොහැකියි. රටේ අපරාධ විසඳීමේ ප්‍රතිශතය 75% ක් වත් විය යුතුයි. රටේ දියුණුව වෙනුවෙන් එය ඉතා හොඳ ආරම්භයක් ලෙස සැලකිය හැකියි. අපරාධ විසඳීම වර්ධනය වන විට රටේ ස්ථාවර භාවය තවදුරටත් ශක්තිමත් වෙනවා.

    අපරාධ විසඳීමේ ප්‍රතිශතය තවදුරටත් වර්ධනය කිරීමට නම් පොලිස් නිලධාරීන්ට අවශ්‍ය උපකරණත්, දැනුමත් මනා ලෙස ලබා දිය යුතුයි. ඒ සඳහාත් අප අවධානය යොමු කර තිබෙනවා. අප ඉදිරියේදී ආරම්භ කිරීමට සූදානම් වන විශ්වවිදාලය පිළිබඳවත් ඇමැතිතුමා මෙහිදී පැවසුවා. පොලිස්පතිතුමාත් මේ සේවයේ දියුණුව වෙනුවෙන් විශාල උනන්දුවක් දක්වනවා. එම නිසා නීතිය සහ සාමය ඇමැතිතුමාත්, පොලිස්පති තුමාත්, ලේකම් තුමා  ඇතුලූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ආදී සියලූම දෙනා මේ වැඩකටයුතු සාර්ථකව සිදු කරනු ඇතැයි  බලාපොරොත්තු වෙනවා.

    නීතිය ගරු කරන සමාජයක් රට තුළ නිර්මාණය කර ගැනීමට අවශ්‍යයයි. පොලිසියට ඇතිවන දේශපාලන බලපෑම් නතර කිරීමට අපි පොලිස් සේවා කොමිසම පත් කළා. ඒ වගේම උසාවිවල ඇති නඩු විසඳමින් ජනතාවට විසඳුම් ලබාදෙමින් එම නඩු කටයුතු ද සීඝ්‍රයෙන් අවසන් කර ගත යුතුයි.

    ලංකාවේ පොලිස් සේවාව ඉතා පැරණි සේවාවක්. එංගලන්ත ජාතික ශ්‍රීමත් රොබට් වීල් ශ්‍රී ලංකාවේ පොලිස් සේවය ආරම්භ කළේ එංගලන්තයේ පොලිස් සේවාව ආරම්භ කර අවුරුදු 30 ක් පමණ ගත වු විටයි. ඒ 1866 වසරේදීයි. එදා සිට පොලිසිය යටතේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීම සිදු වුණා. නමුත් අවාසනාවකට අප තවමත් ක්‍රියාකරන්නේ අතීතයේ නිර්මාණය කර තිබූ ආ ඥාපනත අනුවයි. එම නිසා පළමුවෙන්ම අවශ්‍ය නව නීති සම්පාදනය කර ගත යුතුයි. එදා පැවැති අපරාධවලට වඩා වෙනස් අපරාධ අද ලෝකයේ තිබෙනවා. විවිධ මත්ද්‍රව්‍ය විවිධ ආකාරයට සංවිධානය වූ අපරාධ ආදිය මැඩපැවැත්වීමත්, ඔවුන් නීතිය ඉදිරියට ගෙන ඒමත් පොලිසියට පැවරී තිබෙනවා.

    ඒ වගේම මේ රටේ ත්‍රස්තවාදයට, භීෂණයට මුහුණදීමට පොලිසියට සිදුවුණා. දකුණේ වුවත් උතුරේ වුවත් භීෂණයකදී පළමු ඉලක්කය වූයේ පොලිසීයයි. විශේෂයෙන්ම උතුරු ප්‍රදේශයේදී පොලිස් ස්ථානත්, පොලිසියේ නිලධාරීනුත් පළමු ඉලක්කය බවට පත් වුණා. එම නිසා පොලිස් බල ඇණි, විශේෂ සේවා බලකාය ආදිය ස්ථාපනය කිරීමට පොලිසිය ක්‍රියා කළා.

    ඒ වගේම පොලිසියට අනෙක් බොහෝ ගැටළු ඇති වන්නේ නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමේදීයි. නමුත් රටක ඇති යම් ගැටළුවකට දේශපාලනමය විසඳුමක් ලබා නොදුන් විට ත්‍රස්තාවදය භීෂණය හරහා එය ඉටුකර ගැනීමට ඇතැම් පිරිස් කටයුතු කරනවා. අපේ රටේ පොලිස් සේවය ත්‍රස්තවාදයේ පළමු ඉලක්ක බවට පත්වූයේ ඒ ආකාරයටයි. රටේ ජනතාවටත් එම ත්‍රස්තවාදී ගැටළුවට මුහුණ දීමට සිදු වුණා.
     
    එම නිසා රටේ ඇති ගැටළු සඳහා දේශපාලන විසඳුම් මගින් පිළිතුරු සොයා ගැනීමට ඕනෑම රටක් ක්‍රියා කළ යුතුයි. විශේෂයෙන්ම උතුරේ ගැටළු දෙස අවධානය යොමු කරන විට ත්‍රස්තවාදය බිහි වුනේ රටේ දේශපාලන අර්බුදයන් හේතුවෙනුයි. යුද්ධය අවසන් වීමෙන් පසුව හෝ එම දේශපාලනය අර්බූදය විසදාගැනීමට අපට අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ රට ඒකීය රටක් බවට පත් විය යුතු යැයි දකුණේ ප්‍රධාන දේශපාලන පක්‍ෂත් බහුතර සිංහල ජනතාවත් ප්‍රකාශ කළා. ඒ වගේම ශ්‍රී ලංකාවට ෆෙඩරල් ක්‍රමයක් අවශ්‍ය බව ද්‍රවිඩ පක්‍ෂත්, එම ජනතාවත් ප්‍රකාශ කළා.

    යුද්ධයට පෙරත් මෙම තත්ත්වය පැවැතුණා. යුද්ධය පැවැති සමයේ ඇතැම් පිරිස් වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටියා. නමුත් යුද්ධය අවසන් වීමෙන් පසුත් මේ බෙදීම පවතිනවා. අප ක්‍රියා කරන්නේ එය විසදා ගැනීම සඳහායි. අවසානයේදී අපට ඒ සඳහාත් විසඳුමක් ලැබී තිබෙනවා. ව්‍යවස්ථාදායක සභාවේ මෙහෙයුම් කොමිටියේ අන්තර්වාර වාර්තාවෙන් මෙම ගැටළුව සඳහා වන විසඳුම් සොයා ගැනීමට අපට හැකිවී තිබෙනවා.

    එම අතුරු වාර්තාවේ පළමු ජේදයෙහි යෝජනාවල, උපරිම බලය බෙදා දීම, පාර්ලිමේන්තුවට අමතරව සෙනට් සභාවක් ඇති කිරීම, රටේ කිසිදු ජන කොට්ඨාසයකට මදි පුංචි කම් සිදු නොවන සේ මානව හිමිකම් සුරක්‍ෂිත කිරීම, ස්වාධීන අධිකරණ ක්‍රමයක් ඇති කිරීම, යුද්ධයෙන් අවතැන් පිරිස් වහා පදිංචි කිරීම ආදිය ඇතුළත් වනවා. මේ කරුණු කාරනා සඳහා රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක වන එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එකඟ වනවා නම් බුද්ධශාසනයට ප්‍රමුඛස්ථානය ලබා දෙන ඒකීය රාජ්‍යය සංකල්පය පිළිබඳව සලකා බැලීමට සූදානම් බව සුළු ජාතික පක්‍ෂ ප්‍රකාශ කර තිබෙනවා.

    මීට පෙර කිසිම අවස්ථාවක මෙවැනි එකඟතාවයට ඔවුන් පැමිණ නැහැ. එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් දේශපාලන කඹ ඇදීමක නිරත වන විට තමන්ටත් ඉතිරි වී තිබෙන්නේ තනි ස්ථාවරයක සිට  බලා සිටීම පමණක් බව සුළු පක්‍ෂ පවසනවා. නමුත් ප්‍රධාන පක්‍ෂ දෙක එකට එකතුවී අන්තර්වාර වාර්තාවේ කරුණුවලට එකඟ වනවා නම් ඒකීය රටක් සහ බුද්ධාගමට ප්‍රමුඛතාවය දීම පිළිබඳ සංකල්පයට එරෙහි නොවන බව ඔවුන් පවසනවා. 2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පත් කර ගැනීමට සුළු ජාතික දේශපාලන පක්‍ෂ එක්වී සහයෝගය ලබා දුන්නා. 2014 නොවැම්බර් මාසයේ සුළු ජාතික දේශපාලන පක්‍ෂත් අපි සියලූ දෙනාත් එකට එක්වීමට තීරණයක් කළේ රටේ ඇති වී ඇති මෙම ගැටළුවට විසඳුමක් ලබාදීම සඳහායි.
    මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගැනීම එම එකතුවීමේ ප්‍රතිඵලයයි. ඒ සඳහා අප ගත් දෙවන වැදගත් පියවර නම් 2015 අගෝස්තු මස පාර්ලිමේන්තු මැතිවරණයට පසුව ජාතික ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එක් වූයේ ඇයි? ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළේ ඇයි? මේ ඇතැමුන් එදා මගෙන් ඇසූ ප්‍රශ්නයි.
    රටේ ප්‍රධාන ගැටළුව විසඳීමට නම් අපට ජාතික ආණ්ඩුවක් අවශ්‍යයි. තනි පක්‍ෂයක් ආණ්ඩු බලයේ සිටින විට ලැබෙන වාසි පක්‍ෂ දෙකක් ආණ්ඩු බලය ලබා ගත් විට ලැබෙන්නේ නැහැ. නමුත් මේ රටට ස්ථීර සාමයක් ලැබෙනවා නම් අපට ලැබෙන වාසි අඩු වූවාට ප්‍රශ්නයක් නැහැ.
    මේ ජනවාර්ගික ගැටළුව විසඳීම සඳහා වැඩි වශයෙන් කැප වූයේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසියයි. එසේ නම් යුද්ධය අවසන් වීමෙන් පසුව ඊට ස්ථීර විසඳුමක් ලබාදීම අප කළ යුතුයි. නැවතත් ලංකාවේ සහෝදර ජනතාව අතර යුද්ධයක් ඇතිවීමට අවශ්‍ය නැහැ. ත්‍රස්තවාදීන් අවශ්‍ය නැහැ. 2016 ජනවාරි මාසයේදී අපි එකතුවී ජනාධිපතිතුමාගේ සහයෝගය මත පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක කමිටුවක් ලෙස ක්‍රියා කළේ එම අරමුණ වෙනුවෙනුයි.
    ඒ කෙටුම්පත පසුව පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත්තා. එහි දෙවන පියවර වූයේ මෙහෙයුම් කමිටුවක් පත් කිරීමයි. ඒ මෙහෙයුම් කමිටුවේ අපි සියලූ දෙනාම වසරකට වඩා වැඩි කලක්, එනම් මාස 15 ක් පමණ මෙම ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.
    පළමුව සාකච්ඡා කළේ අපට රට වෙනුවෙන් මෙම ගැටළුවට විසදා ගැනීමට අවශ්‍යද නැද්ද යන්නයි. තමන්ගේ ස්ථාවරය, ජාතීන් අතර ඇති වෙනස්කම් ආදී මේ සියලූ දේ පිළිබඳව අපි සාකච්ඡා කළා. අවසානයේ රට වෙනුවෙන් මේ ගැටළුව විසඳීමට සියල්ලන්ම එකඟතාවයට පැමිණියා. පසුව වාද-විවාද සිදු කරමින් අවශ්‍ය තීන්දු තීරණවලට එළඹුණා.
    ඒ සඳහා කාලයක් ගත වුණා. මෙම කමිටුවේ සභාපති ලෙස බොරුවට කල් ගන්නවා යැයි ඇතැම් පිරිස් මට චෝදනා කළා. නමුත් අවු. 30 ක 40 ක ප්‍රශ්නයක් මාසයකින් දෙකකින් විසදිය හැකි නම් එසේ ක්‍ෂණිකව විසඳීමට මමත් කැමැතියි.
    නමුත් සියලූම දෙනා කතා කළ යුතුයි. අදහස් හුවමාරු කරගත යුතුයි. ඒ ස්ථාවරය හඳුනා ගත යුතුයි. අපි ලබාදුන් අනු කමිටු වාර්තාවලට එකඟ වීමට, විරුද්ධ වීමට මේ ආදී සියලූ දේට ඉඩ ලබා දී අවසානයේ අපේ සාකච්ඡාව පදනම් කර ගනිමින් මතු වූ කාරණා ඉදිරිපත් කිරීමට අප හැකි වුණා. මෙහිදී සුළුතර හෝ බහුතර වාර්තා අපට අවශ්‍ය වූයේ නැහැ. තමන්ට අවශ්‍ය ආකාරයට තම පක්‍ෂයේ ස්ථාවරය සඳහන් කිරීමේ හැකියාව ඔවුන්ට ලැබුණා. ඒ අනුව මෙහි පළමු ජේදයේ වගන්තිවලට එකඟ වන්නේ කෙසේදැයි සාකච්ඡා කර ගත යුතුව තිබුණා.
    මේ සියලූ දේ අවසානයේ අප දැන් සම්පූර්ණ වාර්තාවක් ලබාදී තිබෙනවා. අප එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ද්‍රවිඩ සන්ධානය, ඒකාබද්ධ විපක්‍ෂය ආදී සියලූ දෙනාගේම එම වාර්තාවේ කොටස් ලෙස එක් කර තිබෙනවා.
    මේ පිළිබඳව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා ඊයේ පාර්ලිමේන්තුවේ වේගයෙන් කතා කරනවා මා දුටුවා. එතුමා පුරුදු පරිදිම ඝෝෂා කළා. මෙය නැවැත්වීමට කටයුතු කරනවා යැයි ඇතැමුන් ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවා. නමුත් මම ඒකාබද්ධ විපක්‍ෂයේ උප ලේඛණය කියවූ විට මෙම ක්‍රමය පිළිනොගන්නවා යැයි කිසිදු සටනක් එහි ඇතුළත් වී නොමැති බවත් මා දුටුවා. මේ තුළ සියලූම දේ සාකච්ඡා කළ හැකියි. ඇතැම් කරුණු වෙනුවෙන් අපත් සමග ඔවුන් එකඟ බවත් සඳහන් වෙනවා. නමුත් ප්‍රතික්ෂේප කළ යුතු කිසි දෙයක් සඳහන් වී නැහැ.
    මෙය ආරම්භයක් පමණයි. සාකච්ඡා කිරීම් තවත් ඉදිරියට සිදු කරනවා. එදා මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පක්‍ෂයෙන් ඉවත් වී පොදු අපේක්‍ෂකයා බවට පත් වෙමින් මෙම ගැටළුව විසඳීම සඳහා ගත් තීන්දුව යම් ස්ථාවර තලයකට රැගෙන ඒමට අපට දැන් හැකි වී තිබෙනවා. අප ඉදිරියට යා යුතුයි. මේ වාර්තාව සියලූ දෙනාටම ලබා දිය යුතුයි. කථානායකතුමා පැවසූ ආකාරයට ඔක්තෝම්බර් මස අවසානයේ දී අපි මෙය විවාදයට ගන්නවා.
    නමුත් මෙහිදී අප අන්තවාදීන්ට ඉඩ නොදිය යුතුයි. මෙම විවාදය අන්තවාදීන්ගේ සටනක් නොවිය යුතුයි. ඒකීය භාවයක් හෝ ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලීම, රට පාවා දීමේ චෝදනා, ආදී දෙපැත්තෙන්ම එල්ල වන කිසිදු අන්තවාදී ඉල්ලීමක් හෝ යෝජනාවක් අපට අවශ්‍ය නැහැ. ආරම්භ කළ මේ වැඩකටයුත්ත ඒ ආකාරයටම ඉදිරියට රැගෙන යා යුතුයි. මෙහෙයුම් කමිටුව හරහා කළ යුතු වැඩ කටයුතු දැන් අවසානයි. ඉදිරි වැඩකටයුතු ඉදිරියට කර ගෙන යාම අප රටට භාර කරනවා.
    එයයි අපේ බලාපොරොත්තුව. මෙය අපේ රටට ඉතිරිව ඇති අවසාන අවස්ථාවයි. මේ ගැටළු වලට පිළිතුරු සොයා ගතහොත් ඊට පසුව තවත් ගැටුම් ඇති නොවන බව ඔබ දන්නවා.
    පොලිසියේ පත්වීම් සියල්ලම උතුරු ප්‍රදේශයට ලබාදීලා යැයි ඇතැමුන් චෝදනා කරනවා. ද්‍රවිඩ ජනතාවට පොලිස් පත්වීම ලබාදී නැතැයි ඔවුන් චෝදනා කරනවා. පරස්පර විරෝධී චෝදනා එල්ල වෙනවා. පොලිස් සේවයේ රැකියා පුරප්පාඩු 7000 ක ඇතිව තිබුණා. එම ප්‍රමාණයෙන් 10% ක් ද්‍රවිඩ නිලධාරීන් සඳහා පළමු වටයේ දී ලබා දෙන බව අප පැවසුවා. නමුත් රැකියා ලබා ගැනීමට පැමිණ තිබෙන්නේ 180 ක් පමණයි. ද්‍රවිඩ නිලධාරීන් පමණක් බඳවා ගන්නවා යැයි එක් පැත්තකින් චෝදනා නඟනවා. ද්‍රවිඩ නිලධාරීන් බඳවා ගන්නේ නැතැයි තවත් පිරිසක් චෝදනා කරනවා. නමුත් පුරප්පාඩු වලින් 10% ක් එනම් 700 ක පමණ නිලධාරීන් සංඛ්‍යාවක් බඳවා ගැනීමට සූදානම් වනවිට ඒ සඳහා පැමිණෙන්නේ 180 ක් පමණයි.
    මේ ගැටළුව විසඳන්නේ කෙසේදැයි උතුරු පළාත් මහ ඇමැතිතුමාත්, පොලිස්පතිතුමාත්, සාගල රත්නායක ඇමැතිතුමාත් සහ මමත් උතුරට ගොස් සාකච්ඡා කළා. කෙසේ හෝ අප ඉදිරියට යා යුතුයි.
    අප ගෙන එන නව දේශපාලන විසදුම රට පාවාදීමක් නොවෙයි. අපි මේ ප්‍රශ්නය විසදා ගන්නවා නම් අපේ රට සීඝ්‍රයෙන් දියුණු කිරීමට හැකියාව ලැබෙනවා. මේ ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් අපේ රට සංවර්ධනය කරා ගෙන යමු යැයි මම රටට, ජනතාවට යෝජනා කරනවා.
    වෙනත් භාෂාවකින් කියනවා නම් මේ කැච් එක ගත්තොත් මැච් එක දිනනවා.  නමුත් මේ කැච් එක ඩ්‍රොප් කළොත් මැච් එක පරාජය වීමට සිදුවෙනවා. එසේ නම් මේ කැච් එක ගැනීමට අපි සියලු  දෙනා එකට ක්‍රියා කරමු යැයි මම යෝජනා කරනවා. "

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya