අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේ උගත්කමින් ධනවත්කම ලබාගත හැකියි - අගමැති

    අගෝස්තු 11, 2017
    ශ්‍රී ලංකාව සෑම අතින්ම ධනවත් වූ රටක් නොවන නමුත් අපේ උගත්කමින් ධනවත්කම ලබා ගැනීමට හැකියාව තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 
     
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ හෝමාගම, දියගම පිහිටි මොරටුව විශ්ව විද්‍යාලයීය තාක්‍ෂණික ආයතනය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.
     
    "උගත්කමින් උපයා ගන්නා ධනය දියුණුව සඳහා යෙදවිය යුතුයි. එම දියුණුව ඇති කිරීම සඳහා ශක්තිමත් ආර්ථිකයක් අවශ්‍යයි. ශක්තිමත් ආර්ථිකයක් තුළින් තවදුරටත් ආදායම, ධනය ඉපැයීමට හැකියාව තිබෙනවා. එලෙස ආදායම් උත්පාදනය කළ විට නිවාස ඉදිකිරීම්, සෞඛ්‍ය, අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වියදම් කිරීමට හැකියාව ලැබෙනවා". 
     
    "යහපාලන රජය බලයට පත්වූ පසුව ආදායම වැඩි කර ණය ගෙවීමට හැකි තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා. නමුත් අපට තවදුරටත් ණය ලබා ගැනීමට සිදු වෙනවා. අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය දියුණු කිරීමට, සෞඛ්‍ය දියුණු කිරීමට ණය ගන්නට සිදු වෙනවා. අප බලාපොරොත්තු වූයේ ණය මුදල් ලබා ගෙන අධ්‍යාපනය ආදී ක්ෂේත්‍රවලට වැඩිපුර යෙදවීමටයි. රජයේ අවසන් අරමුණ වන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් ලබාදීමටයි. එය කළ හැක්කේ ආර්ථිකය ශක්තිමත් නම් පමණයි". 
     
    "2019 වසරේ දී අධ්‍යාපනය දියුණු කිරීම වෙනුවෙන් තවදුරටත් මුදල් යෙදවිය යුතුව තිබෙනවා. ලබන වසරේ දී කොතරම් ප්‍රශ්න තිබුණත් ළඟම පාසල හොඳම පාසල බවට පත් කිරීමේ ව්‍යාපෘතියට අමතරව සියලු ම දෙනාට වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිරීමේ මූලික වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. එම අත්හදා බැලීම් අනුව ඊළඟ වසර දෙකේ දී වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිරීම ක්‍රියාත්මක කරනවා. ඒ වැඩසටහන වෙනුවෙන් නව ගුරුවරුන්, නව විෂය පද්ධති උගන්වන ගුරුවරුන්, කොට්ඨාශ බාර ප්‍රධානීන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, විදුහල්පතිවරුන් ආදී සියලු දෙනාම පුහුණු කළ යුතුව තිබෙනවා. මේ වැඩකටයුත්ත සාර්ථක කර ගත හැකි වන්නේ එලෙස ලබාදෙන පුහුණුව මතයි". 
     
    ලක්ෂ 5කට අධික උසස් පෙළ සිසුන්ට ටැබ්ලට් ලබාදීමට තිරණය කර තිබෙන බවත්  2030, 2035 පමණ වන විට අධ්‍යාපන වැඩකටයුතු සඳහා පාසැල් ළමුන් ටැබ්ලට් පරිගණකය භාවිත කරන තත්වයක් ඇතිවිය හැකි බවත් අගමැතිවරයා මෙහිදී පෙන්වාදුනි.
     
    "දරුවන්ට වෘත්තීය පුහුණුව ලබාදුන්නත් රැකියා කරගෙන යාම සඳහා අවශ්‍ය පුහුණුවක් ලැබෙන්නේ නැහැ. පුහුණුව සඳහා අවශ්‍ය කර්මාන්තශාලා සහ ආයෝජකයන් තෝරා ගනිමින් කරගනිමින් එම වැඩසටහන ආරම්භ කළ යුතුයි. මේ රටේ විශ්වවිද්‍යාලවල දියුණුව වෙත අවධානය යොමු කළ යුතුයි. මේ වන විට මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික උපාධි 24ක් තිබෙනවා. රටේ රාජ්‍ය විශ්ව විද්‍යාල 15ක් තිබෙනවා. එම විශ්වවිද්‍යාලවල දියුණුව සඳහා අප කටයුතු කළ යුතුයි. රටේ ඇතැම් විශ්වවිද්‍යාල පිළිබඳ ව අපට සෑහිමකට පත්විය නොහැකියි". 
     
    2050 වන විට ලංකාවේ ජනගහනය වැඩිවෙන්නේ ලක්ෂ 20කින් පමණක් බවත් ලෝකයට අවශ්‍ය යන්ත්‍ර සහ රොබෝ යන්ත්‍ර ආදිය නිෂ්පාදනය කරදීමට අපට මෙය හොඳ අවස්ථාවක් වන බවත් පෙන්වාදෙන අග්‍රාමාත්‍යවරයා එළඹෙන වසර 20, 30 පිළිබඳ ව අවධානය යොමුකරමින් අපේ අධ්‍යාපන ක්‍රමය සකස් කළ යුතු යැයි ද වැඩිදුරටත් පැවසීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya