නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔලිම්පික් නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජනපති අතින් සම්මාන ලබති

    ජූලි 25, 2017
    1948 වසරේ සිට ඔලිම්පික් තරග නියෝජනය කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් සම්මානයෙන් පිදීමේ උපහාර උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.
     
    2017 වසරේ පැවැත්වෙන ක්‍රීඩා අමාත්‍යාංශයේ ස්වර්ණ ජයන්තියට සමගාමීව ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ඔලිම්පික් සංගමය විසින් මෙය සංවිධානය කර තිබූ අතර ඔලිම්පික් තරග නියෝජනය කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 41 දෙනෙක් මෙහිදී ජනාධිපතිතුමා අතින් රන් සම්මානයෙන් පිදුම් ලැබූහ.
     
    මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ජාතියේ ගෞරවය සහ කීර්තිය ලෝකය හමුවට ගෙන ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලැබීම පිළිබඳ තමා සතුටුවන බවයි.
     
    ඕනැම ක්ෂේත‍්‍රයක දක්ෂයින් සහ විශිෂ්ටයින් ඇගයීම ඔවුන්ට කරන ගෞරවයක් සේම ජාතියේ යහපත සඳහා කෙරෙන කටයුත්තක් ද බව ජනාධිපතිතුමා පැවසීය.
     
    එමෙන්ම මාතෘ භූමියේ කීර්තිනාමය ලෝකය හමුවට ගෙන ගිය අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවයන් හැකියාවන් සහ දැනුම, බුද්ධිය මෙන්ම අත්දැකීම් සමාජයට දායාද කරමින් හෙට උපදින මතු පරපුරට මග පෙන්වීම සඳහා පුළුල් වැඩපිළිවෙළක වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
     
    මෙම සියලුදෙනාගේ ඉදිරි සුබසාධනය වෙනුවෙන් රජයක් ලෙස ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
     
    ඔලිම්පික් තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් හැත්තෑ දෙදෙනෙකු දැනට ජීවතුන් අතර සිටිති. ඔවුන් වෙනුවෙන් පිහිටුවා තිබෙන ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමයට රුපියල් ලක්ෂ 50 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමයේ සභාපති ශ්‍රියානි කුලවංශ මහත්මිය සඳහන් කළේ ශ්‍රී ලාංකික ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මීට පෙර මෙවන් අවස්ථාවක් හිමි නොවූ බවයි.
     
    ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, අමාත්‍ය එස්.බී. දිසානායක, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය යන මහත්වරුන් සහ පළාත් ක්‍රීඩා අමාත්‍යවරුන් ද, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ආර්.බී. දිසානායක මහතා සහ ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමයේ සභාපති ශ‍්‍රියානි කුලවංශ, ලේකම් දමයන්ති දර්ශා, සුගත් තිලකරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya