අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ථ රාජ්‍ය සේවකයින් සංවර්ධනයේ නියමුවන් බවට පත්විය යුතුයි - ජනපති

    ජූලි 13, 2017
    රජයේ ඉදිරි වසර කිහිපය තුළ සමස්ථ රාජ්‍ය සේවකයින් සංවර්ධනයේ නියමුවන් බවට පත්වෙමින් එහි නියාමනයට උරදිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව කියා සිටියේ ඊයේ (12) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය අමතමිනි.
     
    රටේ සංවර්ධන වැඩපිළිවෙළට උරදීම සියලු රාජ්‍ය සේවකයින්ගේ වගකීමයි. එම සංවර්ධන වැඩපිළිවෙළ මෙහෙයවීමේ කේන්ද්‍රස්ථානය වන්නේ ජනාධිපති කාර්යාලයයි. එහිදී ඵලදායීතාවයෙන් සහ සඵලතාවයෙන් ඉහළ ආයතනයක් බවට ජනාධිපති කාර්යාලය පත් කළ යුතු අතර ඒ සඳහා සිය කාර්ය මණ්ඩලය සූදානම් කිරීමේ අරමුණින් ජනාධිපතිතුමා අද මෙම හමුවට එක් විය.
     
    ලක්ෂ 14 ක සමස්ත රාජ්‍ය සේවයට ආදර්ශයක් වෙමින් නව මුහුණුවරකින් සහ නව වැඩපිළිවෙළක් ඔස්සේ කාර්යක්ෂමව සහ සැලසුම් සහගත අයුරින් ජනාධිපති කාර්යාලයේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.
     
    රාජ්‍ය නිලධාරින්ට මගපෙන්වීම තිබෙන්නේ රාජ්‍යය කරන්නා වූ දේශපාලන නායකත්වයේ මෙහෙයවීම, කළමනාකරණය සහ පරිපාලනයේ සාර්ථකත්වය මත බව පැවසූ ජනාධිපතිතුමා රාජ්‍ය සේවයේ කිසිවෙකුට තමා චෝදනා නොකරන අතර යම් ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙන්නේ නම් ඊට වගකිවයුත්තේ දේශපාලන අධිකාරිය බව ද කියා සිටියේය.
     
    ලබන මාසයේ සිට තමන් සෑම අමාත්‍යාංශයකම ප‍්‍රගති සමාලෝචන රැස්වීම් සඳහා සහභාගීවන අතර එහි පසුවිපරම් කටයුතු ජනාධිපති කාර්යාලය හරහා සිදුවන බවද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.
     
    වංචාවක්, දූෂණයක්, අක‍්‍රමිකතාවයක් කොතනකදී හෝ සිදු නොවිය යුතු අතර විනිවිදභාවයෙන් සහ පිරිසිදුව සිය කටයුතු කරගෙන යාමට සියලු කාර්ය මණ්ඩල කැපවිය යුතු බව ජනාධිපතිතුමා කියා සිටියේය.
     
    රාජ්‍ය නිලධාරින්ගේ කැපවීම, දක්ෂතාවය සහ මානුෂීය ගුණාංග මැනවින් පිළිබිඹු කළ අවස්ථාවන් ලෙස පසුගිය කාලය තුළ මුහුණදීමට සිදුවූ ස්වාභාවික ආපදා තත්ත්වයන් හමුවේ ගෙන ගිය සහන වැඩපිළිවෙළ හඳුන්වාදිය හැකි බව සඳහන් කළ ජනාධිපතිතුමා එහිදී සමස්ථ රාජ්‍ය සේවයම සිදුකළ කැපවීම වෙනුවෙන් සිය කෘතඥතාවය පිරිනැමීය.
     
    ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ඇතුළු ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සියලුම කාර්ය මණ්ඩල නිලධාරී මහත්ම මහත්මීන් මෙම හමුවට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya