අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපි වෛරක්කාරී දේශපාලනය අවසන් කළා - ජනපති

    ජූලි 01, 2014

    වෛරයකින් ක්‍රෝධයකින් මිනිස්සු දෙස බලන්න එපා යැ යි පැවසූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එය අසාධාරණ බවත් වෛරක්කාරී දේශපාලනය අවසන් කර ඇති බවත් අවධාරණය කළේය. විපක්ෂය කුමක් කිව්වත්, ඔවුන් මොන දේ කළත් ඔවුන්ට වඩා බොහෝ ඉදිරියෙන් ඉදිරි ජයග‍්‍රහණ ලබා ගන්න හැකියාව ඇති බව ද පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා ශක්තිය ඇති බවත් පැවසීය.


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරු, පළාත් ප‍්‍රධාන අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු ඇතුළු පක්ෂ නියෝජිතයින් සඳහා ඊයේ (30) බේරුවල පැවති විශේෂ වැඩමුළුවේදි අදහස් පළ කරමිනි.


    වැඩමුළුවේදි ජනාධිපතිතුමා දැක්වූ අදහස් මෙසේය


    මම හිතන්නේ මම මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනේ ඔබ සියලු දෙනාටම අද වැඩ කරන සඳුදා දිනේ වුවත් අද දවස පක්ෂය වෙනුවෙන්, පෙරමුණ වෙනුවෙන් රජය වෙනුවෙන් කැප කිරීම පිළිබඳව. ඒ වගේම අද උදේ සිට බොහෝම සාමදානව තමන්ගේ අදහස් ප‍්‍රකාශ කරමින් ඇහුම්කන් දී සිටීම පිළිබඳව. විශේෂයෙන්ම මම මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ට ස්තූතිවන්ත වෙන්න ඕනේ තමන්ගේ රාමසාන් කාලයේ වුවද මේ අවස්ථාවට සම්බන්ධවීම ගැන. අද දවස පුරාම ඔබතුමන්ලා එක එක මාතෘකා ගැන සාකච්ඡා කළා. තමන්ගේ අදහස් ප‍්‍රකාශ කළා.


    අපි දන්නවා රටක ආර්ථික ප‍්‍රතිපත්තිය ඒ ඒ දේශපාලන පක්ෂවල ප‍්‍රතිපත්තිත් එක්ක වෙනස් වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිපත්තිය වුණේ වෙනත් එකක්. ඔවුන් දේශපාලන වශයෙන් 1977 බලයට පත්වුණාට පසුව ඔවුන්ගේ ආර්ථික ප‍්‍රතිපත්තිය තමුන්නාන්සේලාට මම අමුතුවෙන් විස්තර කරන්න  ඕනේ නෑ.


    අපේ ප‍්‍රතිපත්තිය ඊට වඩා වෙනසක් ඇති කළා. 1994 ඉඳලා අපේ පක්ෂය නායකත්ව දෙකක් යටතේ පැවතුණා. 1970 ආණ්ඩුවේ අපි හිටියා. අපි මේ රටේ ගොවියාට තැනක් දිය යුතුයි, දේශීය ආර්ථිකය නගාසිටුවිය යුතුයි කියන විශ්වාසයේ අපි හිටියා. ඒ සඳහා හාල් පොල්ල ගෙනාවා. අඟහරුවාදට බත් කන්න දුන්නේ නෑ. ඒ තමයි එදා ප‍්‍රතිපත්තිය. හැබැයි අපි ඒක ගමේ ගිහින් කිව්වා. සීනි නැති ව තේ බොන්නම්, මිරිස් නැති ව හොදි කන්නම්. හඳෙන් හරි සහල් ගෙනත් දෙන්නම් කියලා කිව්වා. ඒ යුගයේ මිනිස්සු පිටරටින් නැවක් එනතුරු තමයි බලන් හිටියේ. ඒ තත්ත්වය වෙනස් කරන්න, ආර්ථිකය තද කරගෙන නීතිය හරහා අපි මේ දේවල් ක‍්‍රියාත්මක කරන්න හැදුවා. හැබැයි එහි වරද අපි 1977 දී දැක්කා. ඒ නිසා තමයි අපි ඒ ප‍්‍රතිපත්තියෙන් ටිකක් එහාට ගියේ. මම තවමත් විශ්වාස කරනවා සිරිමාවෝ මැතිණිය ගෙන ගිය එම වැඩපිළිවෙළ නිවැරදි බව. නමුත් ඒ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරවීමේදී ගත් ක‍්‍රියාමාර්ග දැන් අපට තේරෙනවා ජනතාවට පීඩාකාරී කියලා. අපි ඒ වැරදි හදාගෙන තමයි අද ආර්ථික ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කරලා තියෙන්නේ.


    අද එක්සත් ජාතික පක්ෂය බොහොම පැහැදිලිව ගම තුළ කණ්ඩායම්ගත වෙලා බොරු ප‍්‍රචාර ගෙන යනවා. ඒ වගේම රටේ විවිධ මත ඇති කරන්නත් ඔවුන් කණ්ඩායම් හදලා තියනවා. එක්තරා අයුරකින් මේ මුස්ලිම් ජනතාව අපෙන් ඈත් කරන්න ගන්නා වූ ක‍්‍රියාවලියේදීත් ඔවුන් ඉතා සියුම් ලෙස ක‍්‍රියාත්මක වුණා. අද මම ගියා මුස්ලිම් ජනතාව හමුවෙන්න. ගෙවල් කඩලා තියනවා කිවුවහම ඔවුන් කිවුවා මේ ගමේ අය නෙමෙයි සර් කියලා. එක්කෙනෙක් දෙන්නෙක් ගමේ අය හිටිය. ඒත් ගමේ අය නෙවෙයි, පිටින් ඇවිත් තමයි මේ දේවල් කළේ කියලා.


    මේ සිද්ධිය වන විට කවුද මෙතනට ඇවිත් එය සංවිධානය කළේ. මේ පිළිබඳවත් අපි හරි අවබෝධයකින් ඉන්න ඕනෙ. අපි ගමේ මිනිසුන් අතර ඉන්නවා නම් අපට මෙය දැනෙනවා. මම හිතනවා අපි තේරුම් ගත්තේ නැති එක පැත්තක් මේක. ඒ නිසා ඔවුන් ක‍්‍රියාත්මක වෙනවා. අපේ විපක්ෂ නායකතුමා එක්ක බොරුවකින් මට නම් අහළකටවත් එන්න බෑ. හැම සතියෙම විපක්ෂ නායකතුමා එක බොරුවක් කියනවා. පාරවල් හදන කොට පාරවල්වලට විරුද්ධව බොරු කියනවා. කිලෝ මීටරයක් හදන්න මෙච්චර මුදලක් වැය වෙලා තියනවා කියලා බොරුවට පෙන්නුම් කරනවා.


    මහින්දෝදය විද්‍යාගාර සමග අධ්‍යාපනය ඉදිරියට එන විට ඔවුන් දැක්කා මේකෙ වෙනස. විපක්ෂ නායකතුමා ඉක්මනට ඇවිත් කිව්වා මේකට අපි මුදල් ගන්නවා කියල. අයි.එම්.එෆ්. එක ගැන බොරු කිව්වා. අපි අධ්‍යාපනය කප්පාදු කරන්න යනවා කියලා කිව්වා. ඒකට උත්තර දුන්නම ඊට සති දෙකකට පස්සේ කිව්වා මහින්දෝදය විද්‍යාගාරයට ඇතුල්වන එක දරුවෙකුගෙන් රුපියල් 50,000ක් ගන්නවා කියලා. සතියෙන් සතිය හැමදාම මේ විදිහට බොරු ප‍්‍රචාරය කරනවා.


    දැන් මේ පසුගිය දවස්වල ඇති වුණු කටකථාව නිසා අපේ ඇමතිවරු, මන්ත‍්‍රීවරු බොහොම කලබල වෙලා. තැන් තැන්වල නොයෙක් දේවල් කතා කළා යම් යම් ප‍්‍රශ්න පිළිබඳව. ඇමතිවරු ඇමතිවරු කොටවනවා, මන්ත‍්‍රීවරු මන්ත‍්‍රීවරු කොටවනවා. එය සියුම් විදිහට එක්සත් ජාතික පක්ෂය විසින් සිදු කරනවා. අපි කතා කරන දේ පිළිබඳව අපි පරිස්සම් වෙන්න  ඕනෙ.


    මම ගැන මට විශ්වාසයි. මම ජනතාවගේ මතයට ඇහුම්කන් දෙන ජනතා හද ගැස්ම හඳුනන කෙනෙක්. ඒ නිසා නියමිත කාලයට නියමිත මැතිවරණ ලබාදෙන්න මම පියවර ගන්නවා. එහි ජයග‍්‍රහණයත් අනිවාර්යයෙන්ම ඔබට ලබා දෙනවා. එය ඔබ මතක තියාගන්න. ඒ සඳහා සහයෝගය ලබා දෙන්න. මාත් සමග ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සන්ධානගත වුණු මැතිවරණයට මුහුණ දුන්නු පිරිස් එක්ක මේ සන්ධානය විසුරුවාගන්නේ නැතිව ඉදිරියට යන්න මට සහ මගේ ඇමතිවරුන්ට පුළුවන්කම තියනවා. අපි මෙහි ගෞරවය රැකගෙන ඉදිරියට යන්න  ඕන. ලකුණු දාගන්න කථා කරලා අවසානයේ අපි වැටුණට පස්සේ අපි වෙනුවෙන් කථා කරන්න කවුරුවත් ඉන්න එකක් නෑ. ඒ නිසා මේ පිළිබඳ මම බොහොම අවංකවම කතා කරනවා. මට කියන්න තියන දේ මම කියනවා. මම අද ගොඩක් සන්තෝස වෙනවා. ඉතින් අද සිට අපි අලුත් ගමනක් යමු. මේ මැතිවරණය කවද පැවැත්වුණත් නොවැම්බර්, ජනවාරිවල තිබුණත් ඊට පසුව තිබුණත් ඒ මැතිවරණය සඳහා මේ වර්ෂයේ ඔබ සූදානම් වෙන්න. ඔබගේ ගමේ වැඩ සඳහා අපි විශාල මුදලක් ලබාදීලා තියෙනවා. මේ මුදලින් ප‍්‍රයෝජනය ගන්න. ආසන මට්ටමට ගොස් ඒ ජනතා අවශ්‍යතාව හඳුනගෙන වැඩ කරන්න. එහි සිටින ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු සමග හොඳින් ඉන්න. පළාත් සභා මන්ත‍්‍රීවරු සමග එකට කටයුතු කරන්න. ඒ පිළිබඳ දෙගොල්ලොම අවබෝධයක් ඇතිව වැඩ කරන්න, ඔවුන් කෙරෙහි විශ්වාස තබන්න, ඒ විශ්වාසය මත ගමේ ප‍්‍රශ්න විසඳන්න.


    අපි ඉතිහාසයේ කරපු වැරදි අපිට දැන් පේනවා. 1976 දී සන්ධානය එපා කියලා එලෙව්වා. අපේ කණ්ඩායම් විසුරුණා. දාහත් අවුරුද්දක් ගුටි කෑවා. ඒ තත්ත්වය ඔබ දන්නේ නෑ. ඒ නිසා අපේ විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. සමහරුන්ව මාරු කළේ පයින් ගිහිල්ලා, බස් එකේ ගිහිල්ලා, කෝච්චියේ ගිහිල්ලා, බෝට්ටුවෙන් යන තැනකට ඔබව මාරු කරනවා කියලා. ඒ තැන් හොයලා සිතියම අරගෙන ඒ වගේ තැන්වලට මාරු කරපු අය හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ඉන්නවා. එදා එහෙම තමයි අපිට සැලකුවේ නමුත් අපි අද ඒ දේවල් කරන්නේ නෑ. අපි එහෙම පලිගන්නේ නෑ. හැබැයි අපේ ඒ තිබෙන සංවේදී බව නිසා අපි ඔවුන් සමග ඉන්න නිසා ඔවුන්ට ඒ වෙනස පේන්නේ නෑ.


    සමහරු වැරදි විදිහට හිතනවා. මම මළගෙදරකට ගියත්. මම සමහර දේශපාලනඥයො අඳුරන්නේ පොඩි කාලේ ඉඳලා. අවුරුදු ගණනාවකට උඩ ඉඳලා. දැන් මම දේශපාලනයට ඇවිත් අවුරුදු 44ක් වෙනවා. ඊට කලින් සිටම අපි අඳුරන දේශපාලනඥයො හැම පක්ෂයකම ඉන්නවා. ඔවුන්ගේ මළ ගෙදරකට යන එක මට අරුමයක් නෙමෙයි. පිරිත් ගෙදරකට යන එක මට ගැටලුවක් නෑ. නමුත් මම එහෙම ගියහම සමහරු විවේචනය කරනවා. අන්න අර යූ.එම්.පී. දේශපාලනඥයගෙ පිං කමට ගියා, මළ ගෙදරට ගියා, පිරිකරක් යැවුවා කියලා. ඉතින් මේ දේවල් ගැනත් හිතන්න. මේ ගැන අපට මීට වඩා අවබෝධයක් තියෙන්න  ඕනේ.


    ඔබතුමන්ලාටත් යුතුකමක්, වගකීමක් තියනවා. වෛරයකින් ක්‍රෝධයකින් මිනිස්සු දෙස බලන්න එපා. එය අසාධාරණයි. එහෙම නම් අපට තියෙන්නේ වෛරක්කාරී දේශපාලනයෙන් ඉවත් වෙන්න. අපි එය ඈත් කරලා තියෙනවා. එයින් මිදිලා තියෙනවා. ආපසු අපි එය ගේන්න ඕනෙ නෑ කියන එකයි මගේ විශ්වාසය. අවසන් වශයෙන් මම ඔබට බොහොම පැහැදිලිව කියන්නේ විපක්ෂය මොනව කිවුවත් අපිට ප‍්‍රශ්නයක් නෑ. අපි ඒවට පිළිතුරු ලබා දෙමු. ඔවුන් මොන දේ කළත් ඔවුන්ට වඩා ඉතා ඉදිරියෙන් ඉදිරි ජයග‍්‍රහණ ලබා ගන්න අපට පුළුවන්. ඒ සඳහා ශක්තිය අපට තියෙනවා. ඔබතුමන්ලා සියලුදෙනා ඒ සඳහා එකතු වෙන්න. ඒ එකතු වුණු තැන ජයග‍්‍රහණය අනිවාර්යයි.


    HC/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya