අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් - අගමැති

    මැයි 19, 2017
    පළාත් සභා බලතල පවරා ගන්නේත් නැති මධ්‍යම ආණ්ඩුවේ බලතල පවරා දෙන්නේත් නැතිව  රටේ අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
     
    අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ 75 වන වාර්ෂික සංවත්සරයට සහභාගි වෙමිනි.  
     
    "රජයෙන් විශාල මුදලක් අධ්‍යාපනයට වෙන් කරනවා. ඉන් කොටසක් පළාත් සභා වෙත පැවරෙනවා. මේවායේ පාලනය වැඩි වශයෙන්ම සිදු කරන්නේ පළාත් සභාව හරහායි. අපි අධ්‍යාපනයට විශාල මුදලක් වියදම් කරනවා. මෙහි තිබෙන ගැටළුව මුදල් නොමැතිකම විතරයි. දෙමව්පියන් අධ්‍යාපනය දියුණු කරන්න යැයි පවසනවා. නමුත් දියුණු කිරීමට නම් විශේෂ දැනුමක් තිබිය යුතුයි. අධ්‍යාපනයට දක්ෂ පුද්ගලයින් ඒ ඒ තනතුරුවලට පත් කළ යුතු වෙනවා. එයයි සිදු නොවන්නේ. පසුගිය දශක දෙක තුන තුළදී අපේ අධ්‍යාපන ක්‍රමවේදයේ ගැටළු තිබෙනවා. ගුරුවරු, විදුහල්පතිවරු තේරීමේදී එම ගැටළු ඇති වුණා".
     
    "දක්ෂ පළපුරුදු දැනුවත් අය තෝරා ඔවුන්ට භාර දෙනවා පාසල ඉදිරියට ගෙනයාමට. විද්‍යාලය ප්‍රතිපල පෙන්වන්නේ නැත්නම් ඔවුන්ව ඉවත් කරනවා. ගුරුතලාව, ගල්කිස්ස, බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලවල මෙය සිදු කරනවා. නමුත් එම මාරුකිරීම් සිදු වන්නේ ප්‍රතිඵල ලබාගැනීම මතයි.
    අවාසනාවකට එය අපේ රජයේ පාසල්වල සිදු වන්නේ නැහැ. රජයේ ගුරු පත්වීම් ලබා දෙන විට යම් කිසි දේශපාලන බලපෑමක් ඇති කරනවා.  එසේත් නොමැතිනම් වෙනත් සම්බන්ධතාවයකින් බලපෑමක් කරනවා. නැත්නම් ආගම, ජාතිය, අනුව පත්වීම් ලබා දෙනවා. ඉන් දියුණුවක් කරා ගමන් කිරීමට නොහැකියි. එයයි අපට තිබෙන විශාලම ගැටළුව".
     
    රාජ්‍ය අංශයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ බදවා ගැනීම් සඳහාත්  වැඩපිළිවෙළක් සකස් කොට ප්‍රගති සමාලෝචන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තමන් ජනාධිපතිතුමා සහ අධ්‍යාපන ඇමතිතුමා සමග සාකච්ඡා කොට ඇති බවත් රජයේත් මධ්‍යම ආණ්ඩුවෙත් පළාත් සභා යටතේත් පාලනය වන පාසල්වලට මෙම ක්‍රමය ඇතුලත කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.
     
    "ගුරුවරුන්ට අලුත් දැනුම ලබාගැනීමට , පුහුණුව ලබාගැනීම අවුරුද්දට දින දෙක තුනක් ලබාදිය යුතුයි. මෙය ඉදිරි වසර පහ හය තුළ සිදුකළ යුතු සංශෝධනයක්. එසේ කළොත් මුදලේ වටිනාකම මෙන්ම අධ්‍යාපනයත් දියුණු වෙනවා. අපි මේ වන විට අවුරුදු 13ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කර තිබෙනවා. අධ්‍යාපනයට වෘත්තීය අංශයත් එකතු කිරීමට සූදානම් වෙනවා. මේ සියල්ල සාර්ථක වන්නේ හොද ගුරුවරු නිසායි. දුම්රියට, බස්රථයට හෝ ගුවන් යානයට අප ගොඩ වන්නේ එම නියමුවන්ට, රියදුරුන්ට පුහුණුව ඇති නිසයි. එම තත්වය අපි පාසලේ පන්ති කාමරය දක්වා රැගෙන ආ යුතුයි. අපේ රටේ අධ්‍යාපනය දියුණු වන්නේ එවිටයි". 
     
    අපේ අධ්‍යාපන ක්‍රමය උසස් මට්ටමට ගෙනයාමට මූලික වශයෙන් යෝජනා සකස් කිරීමට  බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya