ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (05) අනුරාධපුරයේ පැවති උත්සවයකට එක්වෙමිනි.
දේශපාලන අතකොළු බවට පත් නොවී තමන්ගෙත්, රටේත් අනාගතය වෙනුවෙන් තම අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්නා ලෙස මෙහිදී සියලු වෛද්‍ය පීඨ සිසුන්ගෙන් ඉල්ලා සිටි ජනාධිපතිතුමා රටේ අධ්‍යාපනයේ දී කිසිඳු දරුවෙකුට අසාධාරණයක් වීමට තමා ඉඩ නොතබන බව ද අවධාරණය කළේය.
සයිටම් පෞද්ගලික වෛද්‍යවිද්‍යාලය පිළිබඳ මතුවූ ගැටලු රැසකට රජය මේ වන විට විසඳම් ලබාදී තිබෙන අතර අදාළ සිසුන් සඳහා සායනික පුහුණුව අනිවාර්යය කිරීම, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව අනුමත කරන පරීක්ෂණයට අනිවාර්යයෙන් පෙනී සිටීම, වෛද්‍ය උපාධියක අවම සුදුසුකම් නිවේදනය කිරීම, අදාළ පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීම, තනි පුද්ගලයෙක් සතුව තිබු ආයතනය සාමුහික ව්‍යාපාරික ආයතනයක් බවට පත් කිරීම, ආයතනයේ පරිපාලනය රජය විසින් නිර්දේශ කරනු ලබන පාලක මණ්ඩලයක් යටතට පත්කිරීම ඇතුළු පියවර රැසක් මේ යටතේ ගෙන තිබෙන බව ද ජනාධිපතිතුමා පැවසීය.
දේශපාලන අවශ්‍යතා අනුව සිදුකෙරෙන මෙම වැඩවර්ජන තුළින් පීඩාවට පත්වන්නේ වරප‍්‍රසාදලත් පංතිය නොව රටේ අහිංසක පොදු මහජනතාව බවද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා ගැටලුවක් ඇත්නම් ඕනෑම වෘත්තීය සමිතියකට රජය සමඟ සාකච්ඡා කිරීමේ අවස්ථාව තිබෙන බව ද කියා සිටියේය.
සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවටම බෞද්ධ දර්ශනය පිළිබඳ උතුම් පණිවිඩය ලබාදෙමින් එක්සත් ජාතින්ගේ ජාත්‍යන්තර වෙසක් දින උළෙල මෙවර ශ්‍රී ලංකාවේදී උත්කර්ෂවත් අන්දමින් සැමරීමට සියලු කටයුතු සූදානම් කර ඇති මෙම අවස්ථාවේ පොදු ජනතාවගේ ජන ජීවිතය අඩාල කරමින් සහ රට නොසන්සුන් කරමින් වෛද්‍යවරුන්ගෙන් කොටසක් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් වැඩ වර්ජනවල නිරතවීම ඉතා කනගාටුදායක බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
ජාත්‍යන්තර වෙසක් දින උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගීවීමට ඉන්දිය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දිවයිනට පැමිණෙන අවස්ථාවේ කළු කොඩි ඔසවන ලෙස ඇතැමුන් කළ ඉල්ලීම ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට බුදු දහම රැගෙන ඒමේ සිට පැවති ඉන්දු - ලංකා සබඳතා ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙනයාම යනු මාතෘ භූමිය ඉන්දියාවට යටත් කිරීම නොවන බව සියලුදෙනා අවබෝධ කරගත යුතු බවයි.
මාතෘ භූමියට අවාසිදායක කිසිදු ගිවිසුමකට කිසිදු රටක් සමඟ අත්සන් නොතබන බව ද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා තමන් බලයට පත්වූයේ රටින් කොටසක් තවත් රටකට ලබාදීමටවත්, රටට අහිතකර ගිවිසුම්වලට විදේශ රටවල් සමග අත්සන් තබා ජනතාවගේ වරප‍්‍රසාද සහ අයිතීන් අහිමි කිරීමටවත් නොවන බව අවධාරණය කළේය.
අනුරාධපුර පළාත් සභා සංකීර්ණ පරිශ‍්‍රයේ ඉදිකළ අභිනව බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය මෙලෙස අද පෙරවරුවේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
අභිනව බුද්ධ ප‍්‍රතිමා වහන්සේ සඳහා ප‍්‍රථම මල් පූජාව සිදු කරමින් ආගමික වතාවත්වල නිරතවූ ජනාධිපතිතුමා අනතුරුව මහා සංඝරත්නය සියක් නමක් උදෙසා පැවති දානමය පුණ්‍යකර්මය සඳහා ද සහභාගී විය.
රුවන්වැලි සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, චන්ද්‍රානී බණ්ඩාර, පී. හැරිසන්, උතුරු මැද ආණ්ඩුකාර පී.බී. දිසානායක, ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුළු පළාත් මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.