නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රගතිය සාකච්ඡා කරයි

    මැයි 04, 2017

    ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ආරක්ෂක අමාත්‍ය, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  (03)  ආරක්ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ශිෂ්‍ය භට බලකාය, ජාතික ආරක්ෂණ අධ්‍යාපන ආයතනය, ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය, පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය, වෙරළ ආරක්ෂණ දෙපාර්තමේන්තුව, රක්නා ලංකා ආයතනය ඇතුළු අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ක්‍රියාකාරිත්වය සහ ඉදිරි සැළසුම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

    සාලාව සිදුවීමට අදාළ වන්දි ගෙවීමේ කටයුතුවල ප‍්‍රගතිය පිළබඳව ද මෙහිදී ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු විය.
     
    පැලවත්ත, අකුරේගොඩ ඉදිකෙරෙන යුද හමුදා මූලස්ථානයේ ඉදිකිරීම් පිළිබඳව ද සාකච්ඡාවට ලක්වූ අතර එය ලබන වසරේ විවෘත කිරීමට හැකියාව පවතින බව සඳහන් කෙරිණි.

    සාලාව, සාමසර කන්ද, මීතොටමුල්ල සිදුවීම්වලදී මුදා ගැනීමේ මෙහෙයුම්වල සහ සහන කටයුතුවල නිරතවූ ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බලකායේ  නිළධාරින් ඇගයීමට ලක් කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් වූ අතර ඔවුන්ගේ සේවය අගයමින් විශේෂ සේවා ඇගයීම් ලිපි පෞද්ගලික ලිපි ගොනුවට ඇතුළත් කිරීමට ඒ අනුව යෝජනා කෙරිණි.

    ශිෂ්‍ය භට බලකාය සියයට පනහකින් ඉහළ නැංවීම පිළිබඳව ද අවධානය යොමු වූ අතර ශිෂ්‍ය භට බලකාය සඳහා අවශ්‍ය පහසුකම් මෙන්ම මුල්‍ය ප‍්‍රතිපාදනය ලබාදීම පිළිබඳව  සාකච්ඡාවට බදුන් විය.

    රණවිරුවන් සඳහා ඉඩම් ලබාදීමේ වැඩසටහන පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර මේ වන විට ඉඩම් කට්ටි නවදහසකට ආසන්න ප‍්‍රමාණයක් බෙදා දී තිබෙන අතර අවශ්‍යතාවය මත මහවැලි බල ප‍්‍රදේශවල ඉඩම් ද ඒ වෙනුවෙන් ලබාදිය හැකි බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    රක්නා ලංකා ආයතනය ඈවර කිරීමට රජය මේ වන විට තීරණය කර තිබෙන අතර එහි සේවය කරන විශ‍්‍රාමික රණවිරුවන්ගේ සුබසාධනය උදෙසා එම ආයතනය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව ද යෝජනා ඉදිරිපත් කරන ලෙස  ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් දුන්නේය.

    රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි යන මහත්වරුන් ද ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ අදාළ ආයතන ප‍්‍රධානින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya