මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායේ නෞකා ඉන්ධන ගබඩා සංකීර්ණය සහ ඉන්ධන පර්යන්තය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.
සමරු ඵලකය විවෘත කිරීමෙන් අනතුරු ව ඉන්ධන ගබඩා සංකීර්ණය වෙත ගමන් කළ ජනාධිපතිතුමා පොම්පාගාරය නිරීක්ෂණය කර එය නිල වශයෙන් විවෘත කළේය. එම පොම්පාගාරයේ සිට වරාය ඉන්ධන පර්යන්තය වෙත ඉන්ධන මුදා හැරීමෙන් පසු ජනාධිපතිතුමා වරාය වෙත පැමිණ එහි නැංගුරම්ලා තිබූ නෞකාවට ඉන්ධන සැපයීමේ අවස්ථාවට ද එක්විය. ඉන්දියාවේ කොචින් වරායේ සිට පැමිණි ඕඊඑල් කලම්බු (OEL Colombo) නෞකාව මාගම් රුහුණුපුර වරායෙන් ඉන්ධන ලබා ගත් ප්‍රථම නෞකාව ලෙස ඉතිහාසයට එක් වූ අතර එම නෞකාවට සපයන ලද ටොන් 500ක ඉන්ධන වෙනුවෙන් වූ ගාස්තු ද සංකේතාත්මකව ජනාධිපතිතුමා වෙත ඒ අවස්ථාවේ දී නැව් සමාගමෙන් පිළිගන්වන ලදී. මෙම නෞකාව බහාලුම් 1000-1500ත් අතර ප්‍රමාණයක් ගෙනයන නෞකාවකි.
ශ්‍රී ලංකාව නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රතිපත්තියට අනුව ඉදිකෙරුණු මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායට පැමිණෙන නෞකාවලට ඉන්ධන සැපයීමට මේ අනුව ඉඩකඩ සැලසේ.
මේ උත්සවය අමතා මහාමාර්ග, වරාය හා නාවික ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහත්වරුන් ද, වැඩබලන ශ්‍රී ලංකාවේ චීන තානාපතිතුමා ද කතා කළහ. ජ්‍යේෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න, අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, මහින්ද යාපා අබේවර්ධන, සාලින්ද දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ඒ. එච්. එම්. අස්වර්, ආර්. දුමින්ද සිල්වා, ඌව පළාත් ප්‍රධාන ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ප්‍රියත් බන්දු වික්‍රම මහතා ඇතුළු රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ද මහජනතාව අතිවිශාල පිරිසක් ද මේ අවස්ථාවට එක් ව සිටියහ.
උත්සවය සභාව අමතමින් ජනාධිපතිතුමා මෙසේ ද පැවසීය.
"අද රුහුණු මාගම්පුර වරාය ඉතිහාසයේ තවත් ඉතාම වැදගත් දවසක පිටුවක් පෙරළනවා. ඒ තමයි තෙල් ගබඩාවත්, ඉන්ධන පර්යන්තයත් අද සිට වරායට එකතු කරන්න අපට පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා වරාය හා නාවික ක්ෂේත්‍රයක් බවට අපේ මාතෘභූමිය පත් කරන්න අපි දුන්න ප්‍රතිඥාව තවත් විදියකින් සම්පූර්ණ වන දවසක්. මම තවත් සන්තෝෂ වෙනවා අපේ විපක්ෂයේ මහත්තුරුත් ඇවිල්ලා මේ තත්ත්වය පරීක්ෂා කළා නම් කියලා. මීට ටික දවසකට ඉස්සෙල්ලා ආවේ. මේකත් බලාගෙන ගියා නම් ගිහිල්ලා වාර්තාවක් ඉදිරිපත් කරන්න තිබුණා. මේක කාටද ඊළඟට විකුණන්නේ කියලා බලාගන්න. එයාලා ගණන් හදන්නේ එහෙම.
එක්තරා කාලයක් තිබුණා අපි ලෝකයේ අනෙක් රටවල් දිහා බලාගෙන ඉඳලා ඒ රටවල් දියුණුවෙනවා දැකලා, අනෙක් රටවල් වගේ දියුණුවෙන්න අපට බැරි ඇයි කියලා අපි අහනවා. අපි හිතින් දුක්වුණා. අපේ අසල්වැසි රටවල්වල වරායවල් ලාභ ලබන ආකාරය දැක අපි පුදුම වුණා. සමහර රටවල්වල වරයාවල් දියුණු වුණේ ආහාර, වතුර, මිනිස් ශ්‍රම සම්පත නැතුව. ඒවා පිට රටවලින් ගෙනැල්ලා තමන්ගේ වරායවල්වල අවශ්‍යතා සපුරා ගත්තේ. අපේ රටිනුත් ඒ රටවල සේවයට ගියා.
අපි මේවායින් සියලු සම්පත්වලින් පිරුණු රටක්. අපට එදා සිට ම අවශ්‍යව තිබුණා, මේ හම්බන්තොට ගොඩවාය වරාය තිබුණු ස්ථානය සංවර්ධනය කරන්න. ඒක පෙනි පෙනී නොපෙනී මුහුදේ යන නැව් අපේ රටට ගෙන්න ගන්න. අපට ඒ නැව් ගෙන්න ගන්න අව්‍යශයි. ඒවාට ආහාර, තෙල්, වතුර සපයන්න.
ලෝකයේ වරායක් හදපු ගමන් එහි ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. කොළඹ වරායේ ප්‍රතිඵල ලැබුණේ අවුරුදු 500කට පමණ පස්සේ. හැබැයි අපේ මේ වරාය හදලා තවම වසර තුනයි. මේ හතරවැනි අවුරුද්ද යන්නේ. එදා මේ වරායට වතුර පුරවපු දවසේ මම කිව්වා මේ පිරෙන්නේ වතුර නෙමෙයි සශ්‍රීකත්වය කියලා. අද මාගම්පුර වරාය ලාභ ලබන තත්ත්වයට පත් වෙලා. නමුත් මේ වරායට විවේචන එල්ල වෙලා තියෙනවා. මේක ස්විමිංපූල් එකක් කරනවා කිව්වා. දැන් ඇවිල්ලා එහාට මෙහාට පීනලා බලන්න පුළුවන්. වෙන කරන්න දෙයක් නැහැ. මේවා විවේචනය කරකර යනවා ඇරෙන්න. මත්තල ගුවන් තොටුපොළට ගිහින් ඒක කෞතුකාගාරයක් කරනවා කිව්වා. මත්තල එක තැනක තියන්න ඕනෑ ඔවුන්ගේ කෞතුකාගාරය. ඊට පස්සේ නොරොච්චෝලේ ගිහින් බලනවා. විපක්ෂයක් තියෙන්න ඕන රටට සහයෝගය දෙන්න. මේ සංවර්ධනයේ ප්‍රතිඵල ජනතාවට බව අවබෝධ කරගන්න ඕන.
1970 මම මන්ත්‍රීවරයෙක් වුණේ. එදා විදුලිය තිබ්බේ නැහැ. එදා මන්ත්‍රීවරුන්ගෙන් ජනතාව විදුලිය ඉල්ලුවේ. පාරවල්වලට තාර නෙමෙයි බොරළු දාලා හදලා දෙන්න කියලා කිව්වේ. තාර පාරවල්, කාපට් පාරවල් තිබුණේ නැහැ. ඊයේ මම පාරක් විවෘත කරා. කිලෝමීටර් තිස්ගාණක් කාපට් කරලා. එතනදි කියනවා තව කිලෝ මීටර් දෙකක් තියෙනවා ඒකත් කාපට් කරලා දෙන්න කියලා. එදා අපට හම්බන්තොටට හරියට පාසල් තිබුණේ නැහැ. හම්බන්තොටටම තිබුණේ ඒ ශ්‍රේණියේ එක පාසලයි. යාපනේ ඒ වෙනකොට ඒ ශ්‍රේණියේ පාසල් 37ක් තිබුණා.
එදා අධිරාජ්‍යවාදී පාලකයින් අපෙන් පලිගන්න කටයුතු කළේ. මාතරින් කෝච්චි පාර නැවැත්තුවා. එදා ඌව වෙල්ලස්ස, මොනරාගල, රුහුණේ ජනතාව අධිරාජ්‍ය විරෝධී සටන් කළා. ඒ සටන්වලට පලිගැනීමටයි එහෙම කළේ. අපි අලි කැලෑවල ජීවත්වුණා. මේවා අද කරන්න බැහැ.
අද ජනතාව ඉල්ලන්නේ කාපට් පාරවල්. අද විදුලිය මේ රටේ නිවාස සියයට 97.5කට ලැබිලා තියෙනවා. මේ වසර අවසන් වන විට සියයට සීයක් ලබාදෙන්න පුළුවන්. මේ රටේ රෝහල් ටික හැදෙනවා. පාසල් ගොඩනැඟෙනවා. විද්‍යා තාක්ෂණ විෂයධාරාවන් හඳුන්වා දෙනවා. ඒවා මොනරාගලට, හම්බන්තොටට රුහුණටම ලැබෙනවා. එදා අපි කොළඹ ඉඳන් කතරගමට මේ පාරේ හැම බිම් අඟලකම මම ඇවිදලා තියෙනවා. පාද යාත්‍රාවල එනකොට. අද විපක්ෂයේ මහත්තුරු එන්නේ පයින් නෙවෙයි. කාපට් පාරේ. එනකොට නම් වීරයෝ වගේ ආවා. යනකොට නම් පොලිස් ආරක්ෂාව ඉල්ලුවා. මං දන්නෑ ඇයි කියලා. ගියෙත් කාපට් පාරේ. මේවා වෙනස් වෙන්න ඕනෑ. ඊරිසියාව නැතුව රටේ සංවර්ධනය ගැන සොයා බලන්න එන්න. අද අපි මධ්‍ය ආදායම් ඇති රටක් බවට පත්වෙලා තිබෙනවා. මේ නිසා තමයි අපි ජනතාව අතරට බය නැතුව යන්නේ.
ලෝකයෙන් ආ විවිධ අභියෝගවලට අපි බය නැතුව මුහුණදුන්නා. ආර්ථික අවපාතයක් ඇති වුණ වෙලාවේ, බැංකු කඩා වුටුණ වෙලාවේ අපි ඒවාට මුහුණදුන්නා. එක බැංකුවක් වැටෙන්න යනකොට පැය විසි හතරෙන් මම රජයට අරගෙන ඒක බේරගන්න කටයුතු කළා. විකුණපු රාජ්‍ය ආයතන අපි ආපහු ගත්තා. ශ්‍රී ලන්කන් ගුවන්සේවය, ගෑස් සමාගම, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වගේ ආයතන ආපහු ගත්තා. ඒ අපේ ආර්ථික ප්‍රතිපත්තිය. රාජ්‍ය අංශය වගේම පුද්ගලික අංශයටත් සහය දුන්නා. අද මෙතන ඉන්නවා ලොකු ලොකු නැව් සමාගම්වල නියෝජිතයින්. පුද්ගලික අංශය හා රාජ්‍ය අංශය දෙකම ඉදිරියට ගන්න අපි පියවර ගත්තා. අපි කාටවත් යට වුණේ නැහැ. අපේ ස්වාධීනත්වය පාවා දෙන්න බැහැ වෙනත් රටකට.
ලෝකයේ කිසිම අධිරාජ්‍යයකට හෝ හිස නොනමා අපි මේ ගමන යන්නේ. අපට රටවල් උදව් කරනවා. චීනය, ඉන්දියාව, ජපානය, කොරියාව වගේම බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය උදව්කරනවා. නමුත් සමහර රටවල් එන්ජීඕ හරහා මේ රටේ මතවාදය වෙනස් කරන්න යම් යම් පියවර ගනිමින් ඉන්නවා. ඒකත් අපි බලාගෙන ඉන්නවා. අපි සාමයෙන් සංවර්ධනය කරා යන වෙලාවක සියලු දෙනා එක් වෙන්න ඕන. සිංහල, දෙමළ, මුස්ලිම් කියලා බෙදෙන්න බෑ. අපි එකිනෙකාට ගෞරව කරමින් එකතු වෙන්න ඕන.එදා ත්‍රස්තවාදීන් කාත්තන්කුඩියේ සිය ගණන් මරන කොට හර්තාල් නොකරපු අය අද හර්තාල් කරනවා. එදා පවුල් 19000ක් උතුරින් ත්‍රස්තවාදීන් පැන්නුවා. අතට අහුවුණ දෙයක් අරගෙන යන්න කියනකොට කවුරුවත් හර්තාල් පිකටින් කළේ නෑ. තවත් ජාතියක් වෙනත් ජාතියකට පාගා දාන්න අපි ඉඩදෙන්නේ නැහැ. යම් යම් සිද්ධි වෙලා තියෙනවා. ඒවාට අපි පියවර ගන්නවා. සුළු සිද්ධීන් ඒවා. ජාතිවාදය අවුස්සමින් දෙගොල්ලගෙම ඉන්න අන්තවාදීන් කටකතා පතුරවනවා. මේවා නොවෙන්න අපි අනාගතයේදී කටයුතු කරන්න ඕන. ඒක කාගේත් වගකීමක්.
හම්බන්තොට විතරක් නොවෙයි මුළු රටම අද සංවර්ධන වැඩබිමක් වෙච්ච යුගයක් මේ. රට විශාල සංවර්ධනයක් කරා යන යුගයක්. මේ ලබන සංවර්ධනය හරහා මේ රට ආසියාවේ ආශ්චර්යය කරා ළං වෙමින් එය යථාර්ථයක් බවට පත්වෙමින් තිබෙනවා" යැයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.
HC/pix:PMU_GID