නොවැම්බර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික හා සමාජීය දියුණුව නාගරිකව පමණක් නොව ග්‍රාමීය ප්‍රදේශවලත් සිදු විය යුතුයි - අගමැති

    ජනවාරි 31, 2017

    හොඳ ආදායමක්, ස්ථීර ආදායමක්, හොඳ ජීවිතයක් ගත කිරීම, ආර්ථික වශයෙන් දියුණුවීම, සමාජය වශයෙන් දියුණුවීම නාගරික ප්‍රදේශය පමණක් නොව ග්‍රාමීය ප්‍රදේශවලත් සිදු විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    බණ්ඩාරගම, වල්ගම ගෝනපල පාරේ පැවැති අන්ටේ ලෙකෝ කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ උත්සවයේදී අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

    අගමැතිවරයා සිදු කළ සම්පූර්ණ කතාව පහත සඳහන් වේ.

    "අද අන්ටේ ලෙකෝ සමාගමේ දෙවැනි කර්මාන්ත ශාලාව විවෘත කළා. මේ කර්මාන්ත ශාලාව ස්මාර්ට් මීටර් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක්. ලංකාවට අවශ්‍ය වන ස්මාර්ට් මීටර් ලංකාවේම නිෂ්පාදනය කිරීමට ඇමැතිතුමා කියූ පරිදි හැකි වන අතර, එමගින් රටේ නවීන තාක්‍ෂණය ඇති වනවා සේම විදුලි බලය ඉතිරි කර ගැනීමට ද හැකි වනවා. ලෙකෝ සමාගම ආණ්ඩුව මගින් ආරම්භ කළ සමාගමක් වන අතර, චීන සමාගම සමග එකට එකතු වී හවුල් ව්‍යාපාරයක් ලෙස අද අන්ටේ ලෙකෝ කර්මාන්ත ශාලාව ආරම්භ කළා.  

     

    අන්ටේ ලෙකෝ යන චීන සමාගම සමග එකට එකතුවීමෙන් එහි කළමනාකරණයත්, තාක්‍ෂණයත් මුසුකර ගැනීමෙන් නිෂ්පාදන සිදු කිරීමට හැකි වී තිබෙනවා. ජපන් තාක්ෂණයෙන් චීනයේ නිෂ්පාදන සිදු කරන මෙම සමාගම ලොව පුරා ආයතන පිහිටුවමින් පවතිනවා. එසේම ලංකාවේ නිෂ්පාදනය කරන ස්මාර්ට් මීටර්ස් ලෝකයේ අනෙකුත් රටවල්වලටත් ආනයනය කරන්නත් බලාපොරොත්තු වනවා. ඒ සඳහා අපගේ සහයෝගය ලබාදෙන බවට ප්‍රකාශ කරන්නට කැමැතියි. මේ කර්මාන්ත ශාලාව මෙම ප්‍රදේශයට ලබාදීම පිළිබඳව ඔබ ප්‍රදේශයේ නියෝජිත අජිත් පී පෙරේරා මැතිතුමාට මා ප්‍රසංශා කරනවා. මෙම ප්‍රදේශය දියුණු කිරීම සඳහා විශාල කැපවීමක් තිබෙන එතුමා පළාත් සභාවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී මහජනයා වෙනුවෙන්, ආණ්ඩුව වෙනුවෙන්, එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් විශාල මෙහෙයක් කරන කළුතර ප්‍රදේශයට සංවර්ධනය ඇති කිරීමට කැපවන සහජ කථික හැකියාවක් ඇති නිතිඥ අජිත් පී පෙරේරා මැතිතුමාට නැවත වරක් මා ප්‍රසංශා කිරීමට කැමැතියි.

     

    රංජිත් සියඹලාපිටිය ඇමැතිතුමා ඇමතිකම භාරගත් දින සිට අමාත්‍යංශයේ අභියෝගවලට මුහුණ දුන්නා. විදුලි බල නිෂ්පාදනයේ ඇති ගැටළු, බලාගාර කඩාවැටීම් යන ගැටළුවලට හොදින් මුහුණදී නවීකරණය සහ සංවර්ධන කටයුතු හොදින් සිදු කරමින් ගමන් කරනවා. ඇත්ත වශයෙන්ම මේ රටේ විදුලි බල නිෂ්පාදනය කිරීම පිළිබඳව අභියෝග ගණනාවක් තිබෙනවා. ඇමැතිතුමා එයට හොදින් මුහුණ දෙනවා. ඒ කුමන ගැටළු පැවැතියත් කිසිදු දේකට පසුබට නොවී ඉදිරියට එතුමා පැමිණියා. එසේම එතුමා මෙම කර්මාන්ත ශාලාව බණ්ඩාරගමට ලබාදීම පිළිබඳව මම ස්තූතිවන්ත වෙනවා.
    මේ අමාත්‍යංශය ජාතික ආණ්ඩුවට හොඳ උදාහරණයක්. ඇමැතිතුමා සහ නියෝජ්‍ය ඇමැතිතුමා එකට එකතුවී රටේ සංවර්ධනයට අති විශාල අභියෝගයට මුහුණදී විසඳුම් සෙවීම සිදු කරනවා. මෙය තවදුරටත් වේගවත් කළ යුතුයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, පොදු අපේක්‍ෂකයා විදිහට පිළිගෙන ජනාධිපති ලෙසත්, සන්ධානයේ සභාපති ලෙසත් පත්වී ප්‍රධාන පක්‍ෂ දෙක එකට එක්වී අලූත් ආණ්ඩුවක් පිහිටවූවා. එයත් දකුණු ආසියාවේ 100% ක් විදුලි බලය ලබාදුන් රට ලෙස වාර්තාවක් තැබීමක් ලෙස පෙන්වා දෙන්නට පුළුවන්. ඒ අතරේ පක්‍ෂ දෙක එකට එකතු වූයේ ඇයි ද? තනිව ගමන් කළ නොහැක්කේ ඇයි ද යනුවෙන් සමහරු අපෙන් ප්‍රශ්න කරනවා. 1979 මම චීනයේ සංචාරයකට ගියා. එවිට චීනය ඉතාම නොදියුණු රටක්. අද චීනයේ කර්මාන්ත දියුණුවෙලා ආර්ථිකයත් දියුණුවී ලෝක වෙළෙඳපොළ තමන් සතු කර ගෙන තිබෙනවා. එයට හේතුව චීන ආණ්ඩුව එදා සිට කර්මාන්ත කරණය පිළිබඳ අවධානය යොමු කර කටයුතු කරපු නිසයි.
     
    ඒ වගේම 1978-1979 දී අපිත් එනම් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කර්මාන්තකරණයේ වැඩකටයුතු ආරම්භ කළා. යුද්ධය නිසා අපට එය ඉදිරියට ගෙන යාමට නොහැකි වුණා. විවිධ පක්‍ෂවල ජනාධිපතිවරුන් බිහි වුණත් කර්මාන්තකරණය පිළිබඳ නොව යුද්ධය පිළිබඳව අවධානය වැඩියෙන් යොමු වුණා. මේ වන විට යුද්ධය අවසන් වී තිබෙනවා.  

    දැන් අප එකට එකතු වී සිටින්නේ යුද්ධය නිසා දුක්විදි, අනාගතය නැති වූ අපේ ගම්බද ජනතාවට, අපේ තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් ලබාදීමටයි. එදා චීනය විශාල කර්මාන්තකරණයක් සිදු කළා නම් ඒවගේ කර්මාන්තකරණයක් ලංකාවට ලබාදීම අරමුණ බව මම ප්‍රකාශ කරනවා. මේ රටේ තරුණ තරුණියන්ගේ රැකියා ආදායම් පිළිබඳ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්න, ඔවුන්ගේ අපේක්‍ෂාවන් කුමක් ද කියා අප හොදින් දන්නවා. හොඳ ආදායමක්, ස්ථීර ආදායමක්, හොඳ ජීවිතයක් ගත කිරීම, ආර්ථික වශයෙන් දියුණුවීම, සමාජය වශයෙන් දියුණුවීම නාගරික ප්‍රදේශය පමණක් නොව ග්‍රාමීය ප්‍රදේශවලත් සිදු විය යුතුයි. ඒ සඳහා අපට ශක්තිය තිබිය යුතුයි. ඒ ශක්තිය ලබාගැනීම සඳහායි අපි එකට එකතුවීම සිදු කළේ. අවුරුදු 5 තුළ මේ රටේ අඩිතාලම අපි දැමිය යුතුයි.

     

    කර්මාන්තකරණය යනුවෙන් ප්‍රකාශ සිදු කළාට එය ඉබේ සිදු වන්නේ නැහැ. අපේ රටේ එය සිදු කළ හැකි බවත්, ආණ්ඩුවකට එහි ප්‍රතිපත්ති ඇති බවත්, ඒ සඳහා දැනුම ඇති බවත්, නිෂ්පාදන ශක්තිය ඇති බවත් පෙන්වා දිය යුතුයි. එමගින් අපටත් විදේශ වෙළෙඳපොළ අත්පත් කරගෙන අපේ තරුණ තරුණියන්ගේ ආදායම් වැඩි කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වැඩකටයුතු කිරීමට කාරණා දෙකක් පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. එකක් නම් හොඳ වෙළෙඳපොළක් සොයා ගැනීමයි. ලංකාව චීනය වගේ කෝටි 150 ක් ජීවත් වන රටක් නොවේ. අපේ ජනගහණය කෝටි දෙකහමාරටත් වඩා අඩුයි. ඒ නිසයි අපි අවට රටවල් සමග නිදහස් වෙළෙඳ ගිවිසුම් ලබාගැනීම සිදු කරන්නේ. යුරෝපීය ගිවිසුම්, ජී.එස්.පී. ප්ලස් වලට පිවිසීම මගින් ඒ තුළම කෝටි 50ක් සිටිනවා.

     

    අප ඉන්දියාව සමග ගිවිසුමක් ඇති කරගත් විට එහි ජනගහණය හා කෝටියක්, චීනයේ කෝටි 150 ක් සිටිනවා. මේ තුළම කෝටි 300 ක වෙළෙඳපොළක් සොයා ගෙන තිබෙනවා. ඒ නිසා එයට ඇතුළු වී 1% ක් හෝ 1/2% ක් අල්ලා ගැනීමට හැකි නම් අපට සාර්ථක විය හැකියි. නමුත් සමහරු වෙළෙඳ ගිවිසුම් ඇති කර ගන්නේ කුමකට දැයි ප්‍රශ්න කරනවා. අපේ රටේ නිෂ්පාදන චීනයට, ඉන්දියාවට ගොස් විකිණීමටයි අපට අවශ්‍ය වී ඇත්තේ.

     

    විශාල කර්මාන්තකරණයක් සිදු කරනවා නම් ඒ සඳහා හොඳම උදාහරණය චීනය සහ දකුණු කොරියාවයි.  අපත් ආර්ථික වශයෙන් දියුණුවීමට කර්මාන්තකරණය සහ සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුතුයි. මෙම කර්මාන්තකරණය සහ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට අපේ ආයෝජකයින් පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා වූ තාක්‍ෂණයක් ද අප සතු නැහැ. ඒ වගේම ලෙකෝ ආයතනය මෙම කටයුත්ත තනිවම සිදු කළා නම් මෙය සාර්ථක වේවි දැයි සිතීමට නොහැකියි. නමුත් අන්ටේ ලෙකෝ සමාගම නිසා මෙය සාර්ථකව සිදු කළ හැකියි.

     

    ඇමරිකාව, ජපානය වැනි රටවලින් මෙම සමාගම තාක්‍ෂණය ලබාගෙන තිබෙනවා. ඒ අය මාර්ගයෙන් අප වෙළෙඳපොළට යා යුතුයි. එමගින් වෙළෙඳපොළ අත්පත් කර ගෙන අප දියුණු විය යුතුයි.  සමහරු විදේශිකයින් අවශ්‍ය නොවන බව පවසයි. නමුත් විමද්‍යගත ආදායමින් රට දියුණු කළ නොහැකියි. දැන් කෑකෝ ගැසීමෙන් පළක් නැත. තමන්ට රට දියුණු කරන්න තිබූ අවස්ථාව ප්‍රයෝජනයට ගත්තේ නැති නිසා දැන් අපට අවස්ථාව දෙන්න අවුරුදු 3ක් 4ක් එකට එක්වී රට දියුණු කරන්න.

     

    අප එකට එකතු නොවුණ හොත් මෙම දියුණුව සිදු කළ නොහැකියි. දැන් ඉන්දියාවෙන්, ජපානයෙන්, දකුණු කොරියාවෙන්, සිංගප්පූරුවෙන්, ඩුබායිවලින් ආයෝජකයින් ලංකාවට පැමිණීමට ඉල්ලීම් කරනවා.

     

    ඒ අයට රට තුළට පැමිණීමට අවස්ථාව නොදෙන ලෙසට මා ක්‍රියා කළ යුතුද? හොඳ වෙලාවට අතීතයේ ආයෝජකයින් පැන්නීමේ ක්‍රමයක් නොතිබුණේ. එසේ වුවහොත් තපස්සු බල්ලූකත් පන්නා දමන්නට ක්‍රියා කරන්නට තිබෙන්නට ඇති. එදා සිට මේ දක්වා අපි වෙළෙදාම් කරපු රටක්. එමගින් ලංකාව දියුණු වූ රටක්. ඉදිරියටත් එය සිදු විය යුතුයි. එයට හේතුව රටේ තරුණ තරුණියන්ට අපටත් වඩා හොඳ අනාගතයක් ලබාදීමටයි. එබැවින් එම ව්‍යායාමයට අපේ ඇමැතිතුමත්, නියෝජ්‍ය ඇමැතිතුමත් විශාල දායකත්වයක් විදුලි බල මණ්ඩලය තුලින් ලබා දෙනවා.


    බණ්ඩාරගම කළුතර ප්‍රදේශයේ මීටත් වඩා කර්මාන්තශාලා ඉදිවේවා යැයි ප්‍රාර්ථනා කරමින් මෙම ප්‍රදේශයේ තරුණ තරුණියන්ට කුමන පක්‍ෂයේ වුවත් රැකියා ලැබේවායැයි ප්‍රාර්ථනා කරනවා. "
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya