නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    GSP+ ලැබීමේ ගෞරවය වැළැක්වීමට ඇතැමුන් උත්සාහ කරනවා - ජනපති

    ජනවාරි 14, 2017

    යුරෝපා සංගමය GSP+ සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කිරීමත් සමග රජයට ලැබෙන කීර්තිය ගෞරවය වැළැක්වීමට ඇතැමුන් අශීලාචාර අන්දමින් කටයුතු කරන බව ජනාධිපතිතුමා පවසයි.

    යුරෝපා සංගමය GSP+ සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදුන්නේ මේ රටේ ෆෙඩරල් ක්‍රමයක් ඇතිකිරීමේ පොරොන්දුව මත බවට අද දින පළවූ පුවත්පත් වාර්තාව පිළිබඳ ව සිට කණගාටුව පළ කළ ජනාධිපතිතුමා ලබාදී ඇති මාධ්‍ය නිදහස වැරදි අයුරින් භාවිතා නොකර
    රටේ ජනතාවට නිවැරදි සහ සත්‍ය තොරතුරු ලබාදීමේ වගකීම ඉටු කරන ලෙස තමා නැවත නැවතත් ඔවුන්ගෙන් ඉල්ලා සිටින බව ද කියා සිටියේය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (14) ගාල්ල ලබුදූව සිරිධම්ම විද්‍යාලයේ පැවැති නිල මෙහෙවර ජනපති ජනතා සේවයේ ගාල්ල දිස්ත්‍රික් සමාප්ති උත්සවයෙන් අනතුරුව පැවැත්වූ ආගමික සංහිඳියාව තහවුරු කිරීමේ වැඩසටහනට
    එක්වෙමිනි.

    මෙම උත්සාහය රට ෆෙඩරල් කිරීමටවත්, කැඩීමට හෝ බිඳීමටවත් නොව නැවත යුද්ධයක් ඇතිවීම වළක්වා ජාතික සමගිය තහවුරු කර සාධාරණ සමාජයක් ගොඩනඟා ලෝකයේ පිළිගත් ප්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස අපේ රට ලෝකය හමුවට ගෙනයාම බව
    ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

    මේ රටේ ජනතාව විසින් තමා ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කරගන්නා විට රටේ ඉදිරි ගමනට බොහෝ බාධා එල්ල වී තිබූ බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා තමන් ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව රටේ වගකීම භාරගැනීමෙන් අනතුරුව එම ප්‍රශ්න සියල්ල විසඳමින් සියලු
    විදේශ රටවල් සමඟ මිත්‍රශිලීත්වය ගොඩනගා ගනිමින් සංවර්ධන සහ ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බවත් ප්‍රකාශ කළේය.

    රටට විදේශ ආයෝජන ගෙන එන විට රට විකුණන බවට ඇතැමුන් සටන් පාඨ ඉදිරිපත් කරන අතර වසර දහස් ගණනක පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අපේ උතුම් මාතෘ භූමියේ වටිනාකම මැනවින් හඳුනාගත් රජයක් ලෙස භූමියේ සුරක්ෂිතභාවය හා
    පෝෂණය වෙනුවෙන් රජය නිරන්තරයෙන් කැපවී සිටින බවද පැවසීය.

    "ආගමික සහජීවනය ඇතිකිරීම උදෙසා තිරසර යුගයක තෙවසරක ඇරඹුම" නිල මෙහෙවර තේමාව යටතේ පැවැත්වූ මෙම වැඩසටහනේ දී මහා සංඝරත්නය උදෙසා චීවර දහසක් පූජා කිරීම, ආගමික සිද්ධස්ථාන සංවර්ධනය උදෙසා ස්ථාවර ගිණුම් සහතික පත් සහ ඔප්පු ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.

    අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, චන්දීම වීරක්කොඩි, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරු ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya