නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාර්ග නීති කඩකරන ප‍්‍රභූ වාහන පරීක්ෂා කිරීමට ජනපති උපදෙස්

    දෙසැම්බර් 01, 2016

    මාර්ග නීතියට අවනත නොවෙමින් ගමන්කරන ප‍්‍රභූ වාහන සම්බන්ධයෙන් සතිපතා වාර්තාවක් ලබාදෙන ලෙසට තමන් පොලිස්පතිවරයාට නියෝග කළ බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කළේය.

     

    ජනාධිපතිතුමා මේ බව සඳහන් කරනු ලැබුවේ අද (01) පෙරවරුවේ නිදහස් චතුරස‍්‍රයේ පැවති  ”පරිස්සමෙන් ගිහින් එන්න” ජාතික මාර්ග ආරක්ෂණ වැඩසටහනට සමගාමීව පැවැත්වෙන ජාතික මාර්ග ආරක්ෂණ සතිය ප‍්‍රකාශයට පත්කිරිමේ උත්සවය අමතමිනි.

     

    ඉකුත් දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ද ත‍්‍රස්තවාදි බිය නොමැති මෙම කාලයේදීත් අයුතු ලෙස ගමන්ගන්නා ප‍්‍රභූ වාහන සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව මෙන්ම එවැනි රථවාහන වල ගමන් ගන්නේ ප‍්‍රභූවරුන්ම ද යන්න පිළිබඳව සාකච්ඡා කළ බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    අදාළ වාර්තාව පොලිස්පතිවරයා ලබාදුන් වහාම ඒ පිළිබඳ සොයා බලා එම පාර්ශව ගෙන්වා තමන් පුද්ගලිකවම සාකච්ඡා කරන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

     

    මාර්ග ආරක්ෂණ නීති සම්බන්ධයෙන් ආදර්ශය ලබාදිය යුත්තේ ඉහළ සිට පහළට බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මෙවැනි වැඩසටහන් සාර්ථක කරගැනීම සඳහා සියලු ක්ෂේත‍්‍රවල පිරිස් සහය දියයුතු බවද පෙන්වා දුන්නේය.

     

    හදිසි අනතුරු හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත‍්‍රය විශාල පිරිවැයක් දරන බැවින් එය රටේ සංවර්ධනයට බාධාවක් බවත් නීතිය ආරක්ෂා කිරීම සඳහා රජය විසින් ගන්නා ක‍්‍රියාමාර්ග වලදී ඊට විරුද්ධ නොවී සහය දැක්විය යුතු බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

     

    මෙරට පවතින මාර්ග තදබදයට ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ පොදු ප‍්‍රවාහන සේවය දියුණු නොවීම බව පෙන්වා දුන් ජනාධිපතිතුමා පොදු ප‍්‍රවාහන සේවය ශක්තිමත් කිරීම සඳහා රජය කැපවෙන බව ද පෙන්වා දුන්නේය.

     

    එමෙන්ම මෙරට ජනතාව මාර්ග නීති සම්බන්ධයෙන් දැනුවත් වී තිබෙන නමුත් එය ක‍්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ගැටලු පවතින බවත් මගීන් මෙන්ම රියදුරන්ද නීතිය නිසිලෙස පිළිපැදිය යුතු බවත් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

     

    ජාතික රූපවාහිනී සංස්ථාවේ පූර්ණ අනුග‍්‍රහයෙන් සියලු දිස්ත‍්‍රික්කයන් ආවරණය කරමින් පැවැත්වෙන ජාතික මාර්ග ආරක්ෂණ වැඩසටහන ප‍්‍රවර්ධනය සඳහා ජනාධිපතිතුමා විසින් ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයා වෙත රුපියල් මිලියන 10ක චෙක්පතක් ද තිළිණ කළේය.

     

    මෙම අවස්ථාවට මහානායක පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද  අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, ගයන්ත කරුණාතිලක, පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya