නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති හා ඉන්දීය විදේශ ඇමැතිනී අතර හමුවක්

    ඔක්තෝබර් 05, 2016

    දෙරටේ මිත්‍රත්වය සහ හිතවත්කම තව තවත් තහවුරු කෙරෙන අනාගතයක් වෙනුවෙන් ඉන්දීය රජය නිබඳවම වෙහෙසෙන බව අවධාරණය කළ ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය, මේ පසුබිම මත ඉන්දීය පුද්ගලික ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උනන්දුවෙන් සිටින බව ද පෙන්වා දුන්නාය.



    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා සමග විවිධ අවස්ථාවන්හි විවිධ තනතුරු දරමින් තමා සාකච්ඡා කර ඇති බව කී ස්වරාජ් මහත්මිය, බලයේ සිටින අවස්ථාවලදීත්, බලය නොමැති අවස්ථාවලදීත්, වික්‍රමසිංහ මහතා සහ තමා අතර ඇති මිතුදම නොවෙනස්ව පවතින බව ද ප්‍රකාශ කළාය.

    නවදිල්ලි නුවර තාජ් පැලස් හෝටලයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා හමුවෙමින් ඉන්දීය විදේශ ඇමතිනිය අද (05) මේ බව ප්‍රකාශ කළාය. ඉන්දීය – ශ්‍රී ලංකා ධීවර ගැටලුව තිරසර අයුරින් විසඳීම උදෙසා කඩිනම් ක්‍රියා මාර්ග ගත යුතු බවද ඇය සඳහන් කළාය.

    ඒ වෙනුවෙන් දෙරටේ විදේශ අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් හා ධීවර අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ඉහළ පෙළේ සාකච්ඡා වටයක් ලබන නොවැම්බර මුල් සතියේ පැවැත්වීමට ද මෙහිදී තීරණය කෙරිණි.

    කලාපීය ත්‍රස්තවාදය මෙන්ම දේශසීමා ත්‍රස්තවාදය සම්බන්ධව ද මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කළ අතර, සාමය වෙනුවෙන් පෙනී සිටින සියලු කණ්ඩායම් ඒකරාශී කර ගනිමින් ත්‍රස්තවාදය මැඬලීමට ක්‍රියා කළ යුතු බව ද අවධාරණය කෙරිණි.

    කලාපීය සාමය තහවුරු කරලීම උදෙසා ශ්‍රී ලංකාව සිය උපරිම සහය සහ කැපවීම හැමදා දක්වා ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා ඉදිරියේදී ද එම ස්ථාවරයෙන් වෙනස් නොවන බවට සහතික විය.

    විදේශ අමාත්‍ය මංගල සමරවීර, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, පස් අවුරුදු සැලසුම් ප්‍රධානී අර්ජුන මහේන්ද්‍රන් සහ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයීය අමාත්‍ය කපිල ෆොන්සේකා යන මහත්වරුන් ද මේ අවස්ථාවට එක් වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya