අග්‍රාමාත්‍යවරයා මේ බව අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසන අවස්ථාවේ දී අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
පුනර්ජනනීය බලශක්ති පිළිබඳව ආණ්ඩුවේ සැලැස්ම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් විමසීය.
හැම රටක් ම පුනර්ජනනීය බලශක්ති අරමුණු ඉටු කිරීම සඳහා ක්‍රියා කරනවා. කිසිම ප්‍රධාන රටක් එම අරමුණු සියයට සියයක් ඉටු කරගෙන නෑ. දිනෙන් දින ඉහළ යන විදුලිබල ඉල්ලුම අනුව, ප්‍රමාණවත් විදුලි බලය සැපයුම තහවුරු කිරීම සදහා රජයේ අවධානය යොමුව ඇත්තේ පුනර්ජනනීය බලශක්තිය දෙසටයි.
මෛත්‍රි පාලනයක් ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ද පංචවිධ ප්‍රතිපත්ති මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ද මේ පිළිබඳව ඉතා පැහැදිළිව දක්වා තිබෙනවා.එම ප්‍රතිපත්තිය අනුව යමින් මෙරටට නව බලශක්ති ප්‍රතිපත්තියක්,හඳුන්වාදීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය විසින් කටයුතු කරගෙන යනවා.
බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳව සම්පූර්ණ අධ්‍යයනයක් සිදු කරගෙන යනවා. මගේ ප්‍රධානත්වයෙන් රැස්වෙන ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව විසින් ශ්‍රී ලංකාවට සුදුසු බලශක්ති මූලාශ්‍ර පිළිබඳව විශේෂයෙන් ස්වාභාවික ගෑස් බලාගාර පිළිබඳව අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා මහාචාර්ය සිරිමල් අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා. මෙම අධ්‍යයන කටයුතු අවසන් වූ වහාම නව බලශක්ති ප්‍රතිපත්තිය මෙන් ම 2016 සිට 2036 දක්වා දීර්ගකාලීන බලශක්ති ජනන සැළසුම එළිදැක්වීමට රජය බලාපොරොත්තු වෙනවා.
රටතුළ පුනර්ජනනීය බලශක්ති ජනනය ප්‍රවර්ධනය කිරීම සඳහා රජය පියවර කීපයක් ගෙන තිබෙනවා.දිවයිනපුරා නිවාස ඒකක මිලියනයක සූර්යකෝෂ පිහිටුවීම සඳහා විදුලි බල අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක සූර්යබල ව්‍යාපෘතිය ජනාධිපතිතුමාගේ නිල නිවසින් ආරම්භ කළා.
විදුලි බල මණ්ඩලය විසින් මෙගවෝට් 100ක ධාරිතාවයෙන් යුත් කුඩා පරිමාණ සූර්ය තාප බලාගාර පිහිටුවීමත් මන්නාරම ප්‍රදේශයේ සුළං බලයෙන් ක්‍රියාත්මක විදුලි බලාගාරයක් පිහිටුවීමත් ඒවා දිරිමත් කිරීමට අවශ්‍ය අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.