නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගොවි ජනතාව වෙනුවෙන් සියලු යුතුකම් ඉටු කරනවා - ජනපති අවධාරණය කරයි

    අගෝස්තු 12, 2016

    සිය දහඩියෙන්, කදුළෙන් සහ සුසුමෙන් රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන ගොවි ජනතාව වෙනුවෙන් රජයෙන් ඉටුවිය යුතු සියලු යුතුකම් ඉටු කිරීමට රාජ්‍ය ප‍්‍රතිපත්තිය අනුවම බැඳී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.

    ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ඊයේ (11) ඇඹිලිපිටිය බුද්ධි මණ්ඩපයේ පැවති මහවැලි මහ ගොවියාට හා හොඳම මහවැලි ගොවි සංවිධානය සඳහා ත්‍යාග හා සම්මාන පිරිනැමීමේ උත්සවය අමතමිනි.

     

    දුගී භාවයෙන් සහ ණය බරින් රටේ ගොවි ජනතාව නිදහස් කර ගනිමින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සියලු දෙනාම සාමුහිකව එක්විය යුතු බවද මෙහිදී පැවසු ජනාධිපතිතුමා නව තාක්ෂණය සහ පර්යේෂණ ඔස්සේ කෘෂිකර්මාන්තයේ සිදුකළයුතු වෙනස්කම් සිදු කිරීමට සියලු වගකිව යුතු ආයතන ඒකාබද්ධව කටයුතු කළයුතු බවද කියා සිටියේය.

     

    රජ රට ගොවි ජනතාවගේ බලාපොරොත්තු මල් ඵල ගන්වමින් අද මොරගහකන්ද-කළු ගඟ ජලාශයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදු වන බවද පැවසූ ජනාධිපතිතුමා නව සැලැස්මක් සහ වැඩපිළිවෙළක් ඔස්සේ මහවැලි කලාපවල කෘෂිකර්මාන්ත කටයුතු ඉහළ නංවමින් එහි ගොවි ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කරන බව ද කියා සිටියේය.

     

    2020 වන විට ජාතික සංවර්ධන ඉලක්ක සපුරා ගනු වස් සිව් අවුරුදු ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන සාර්ථක කර ගැනීම පිණිස මහවැලි ගොවි ප‍්‍රජාව දිරිමත් කිරීම හා වස විසෙන් තොර ගුණාත්මක නිෂ්පාදන ඉලක්ක සපුරා ගැනීම සඳහා ගොවි ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමේ අරමුණින් ශී‍්‍ර ලංකා මහවැලි අධිකාරිය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

     

    මෙහිදී ප‍්‍රථම දෙවන සහ තෙවැනි ස්ථාන සඳහා ගොවින් තෝරා ගනු ලැබූ අතර හොඳම ගොවියා ලෙස පළමු ස්ථානය දිනාගන්නා ලද්දේ මහවැලි හුරුළුවැව කලාපයට අයත් ගල්කිරියාගම කොට්ඨාසයේ පදිංචි ආර්.සී පේ‍්‍රමදාස මහතායි.

     

    ගොවි සංවිධාන අතුරින් ද ප‍්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන තෝරාගනු ලැබූ අතර මොරගහකන්ද කලාපයේ බකමූණ කොට්ඨාශයේ 504 බෙදුම් ඇළ ගොවි සංවිධානය හොඳම ගොවි සංවිධානය ලෙස ප‍්‍රථම ස්ථානය දිනා ගත්තේය.

     

    හොඳම ගොවි සංවිධානයේ පළමු ස්ථානය සඳහා මිලියන 05 කට වැඩි වටිනාකමකින් යුත් අස්වනු නෙළීමේ යන්ත‍්‍රයක්, දෙවන ස්ථානයට රෝද 04 ට‍්‍රැක්ටරයක්, තෙවන ස්ථානයට රෝද 02 ට‍්‍රැක්ටරයක් සහ 04 වන ස්ථානයේ සිට 09 වන ස්ථානය දක්වා ජයග‍්‍රාහකයින්ට රුපියල් 50,000 බැගින් වටිනා තෑගි පිරිනැමිණි.

     

    එමෙන්ම හොඳම ගොවියා පළමු ස්ථානයට රෝද 04 ට‍්‍රැක්ටරයක්, දෙවන ස්ථානයට සියලු අංග සහිත රෝද 02 ට‍්‍රැක්ටරයක් සහ තුන්වන ස්ථානයට රෝද 02 ට‍්‍රැක්ටරයක් ද, 04 වන ස්ථානයේ සිට 09 වන ස්ථානය දක්වා ජයග‍්‍රාහකයින්ට රුපියල් 50,000 බැගින් ත්‍යාග ද පිරිනැමිණි.

     

    අමාත්‍යවරුන්වන මහින්ද අමරවීර, තලතා අතුකෝරාළ, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්.සෙනෙවිරත්න, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනුර දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya