නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෝට් සිටි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ත්‍රෛපාර්ශවික ගිවිසුමක් - නව ගිවිසුම ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා

    අගෝස්තු 10, 2016

    ශ්‍රී ලංකාවට හිතකර කොන්දේසි සහිතව, පෝට් සිටි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කමිටුවක් පත් කර මේ වනවිට ත්‍රෛපාර්ශවික ගිවිසුමක් සකස් කරමින් පවතින බවත් අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කමිටුව නීතිපති උපදෙස් අනුව සකස්කරනු ලබන නව ගිවිසුම ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.


    විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසන අවස්ථාවේ යොමු කළ පෝට් සිටි ව්‍යාපෘතිය පිළිබඳව යොමු කළ පැනයට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා අද (10) පාර්ලිමේන්තුවේ දී මෙසේ පැවසී ය.  


    පැනයට පිළිතුරු ලබාදුන් අග්‍රාමාත්‍යවරයා,

    පසුගිය රජය සමයේ ආරම්භ කළ කොළඹ වරාය නගරය හෙවත් PORT CITY  ව්‍යාපෘතිය නවතා දැමීමට හේතු කිහිපයක් පාදක වුණා. එයින් ප්‍රධානම හේතුව වූයේ එම ව්‍යාපෘතිය සම්බන්ධව සම්පූර්ණ පාරිසරික බලපෑම් ඇගයීමක් සිදු කර සංවර්ධන බලපත්‍රයක් ලබා ගෙන නොතිබීමයි.

     

    ඒ වගේම රජයේ ප්‍රතිපත්තියට විරුද්ධව චීන සමාගම වෙත සින්නක්කර ඉඩම් ලබා දීමට එවකට රජය එකඟ වෙලා තිබුණා. ඒවගේම එම ව්‍යාපෘතිය සම්බන්ධ ගිවිසුම පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කොට තිබුනේත් නැහැ.

    එවකට සකසා තිබූ ව්‍යාපෘති ගිවිසුම අනුව ව්‍යාපෘතියෙන් වැඩි වාසි චීන සමාගම සතු වුනා.අපි මේ ගැන හොයා බලන්න නිලධාරී කමිටුවක් පත් කළා.ඒ කමිටුවේ නිර්දේශ සැළකිල්ලට අරන් අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව 2005 මාර්තු මාසයේ ව්‍යාපෘතිය තාවකාලික අත්හිටුවීමට තීරණය කළා.

    පසුගිය අවුරුද්ද තුළ විධිමත් සහ පූර්ණ පාරිසරික ඇගයීමක් සිදු කර අදාළ ආයතන වලින් කොන්දේසි වලට යටත්ව නිසි අනුමැතියක් සහ සංවර්ධන බලපත්‍රය ලබා ගෙන තිබෙනවා.ඒ කොන්දේසි වලට අනුව පරිසර බලපෑම අවම වන ආකාරයට තමයි මෙම මුහුද ගොඩකිරීම කළ යුත්තේ.

     

    රටේ මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කිරීම ද කරන්න ඕනෙ ආර්ථිකයට ඍජු ප්‍රතිලාභ ලබා දිය හැකි වන ආර්ථික දැක්මකට අනුවයි. දැක්මක් නැතුව කරන ව්‍යාපෘති වලින් පරිසරයට වගේම රටේ ආර්ථික හා සමාජ තත්ත්වයට දිගුකාලීන හානි ඇතිවෙන්න පුළුවන්. අපි මෑතක දී බස්නාහිර මෙගාපොලිෂ් සැලසුම සකස් කළා. එහි දී

     

    බස්නාහිර පළාත ආශ්‍රිතව සිදුකළ යුතු සංවර්ධනයන් සහ අවශ්‍යතා පිළිබඳ නිසි අධ්‍යයනයන් සිදු කර ඒ අනුව පෝට් සිටි ව්‍යාපෘතියට අවශ්‍ය වෙනස්කම් හඳුනා ගත්තා. ඒ අනුව රටේ සංවර්ධනයට අවශ්‍ය විධියට ව්‍යාපෘතිය සිදුකරන්න තමයි අපි දැන්  අනුමැතිය ලබා දීලා තියෙන්නෙ.

    ජනාධිපතිතුමා ගේ සහ මගේ චීන සංචාර වලදී චීන රජය සමග මෙම ව්‍යාපෘතිය ගැන සාකච්ඡා කළා. එහි දී අපි පෙන්වා දුන්නා මෙම ගිවිසුම තනිකරම ඒක පාර්ශ්වික ගිවිසුමක් බව. එහිදී මෙම ගිවිසුම සාධාරණ තත්ත්වයකට ගේන්න අපිට එකඟතාවයකට එන්න පුළුවන් වුනා.

    ඒ අනුව අමාත්‍යාංශ ලේකම් වරුන්ගේ කමිටුවක් පත් කරලා නීතිපති උපදෙස් සමග ශ්‍රී ලංකාවට හිතකර කොන්දේසි සහිතව මේ වනවිට ත්‍රෛපාර්ශවික ගිවිසුමක් සකස් කරමින් පවතිනවා. එම ගිවිසුම මෙගාපොලිස් අමාත්‍යංශය, නාගරික සංවර්ධන අධිකාරිය සහ ව්‍යාපෘති සමාගම අතර අත්සන් තැබීමට නියමිතයි.


    යෝජිත නව ගිවිසුමට අනුව අපි ව්‍යාපෘති සමාගමට සින්නක්කර ඉඩම් ලබා දෙන්නේ නෑ. රජයට ලැබෙන ඉඩම් වලට පනවා තිබූ සීමා ඉවත්කරල තියෙනවා. ඒ වගේම නයිට් රේස් වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් ඉදිකරන්න එකඟ වෙලා තියෙනවා. කලින් ගිවිසුමට අනුව ධීවරයින්ට සිදුවෙන සමාජ ආර්ථික බලපෑම වෙනුවෙන් රජයට තමයි වගකීම තිබුනේ. නමුත් දැන් ඔවුන් එකඟවෙලා තියෙනවා රුපියල් මිලියන 500 ක් ඒ වෙනුවෙන් යොදවන්න වගේම අවශ්‍ය වෙනත් සමාජ පිරිවැය දරන්නත්.

    අපි දැන් අනුමැතිය ලබා දී  තියෙන්නෙ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා ගත හැකි වන ආකාරයට සැලසුම් කරපු  නිසි පාරිසරික අනුමැතියක් ලබා ගෙන අපිට හිතකර ආකාරයකට සකස් කරපු ගිවිසුමක් අත්සන් කරන්න.

    පසුගිය රජය ගිවිසුම අත්සන් කරල තිබුනු විදියට මෙම ව්‍යාපෘතිය නැවැත්තුවොත් විශාල වන්දියක් රජයට ගෙවන්න වෙනවා. ව්‍යාපෘති සමාගම ඒ වෙනකොටත් විශාල ආයෝජනයක් කරල තිබුනා. ඒත් අපි චීන රජය සහ ව්‍යාපෘති සමාගම එක්ක කතා කරල එකඟතාවයකට ආව වන්දි ඉල්ලීම ඉවත් කරගන්න. ඒ අනුව සමාගම වෙත කිසිදු වන්දියක් ගෙවන්න අවශ්‍ය නැහැ. ව්‍යාපෘතියට අයත් සියළු අංශ ඇතුළත් වනසේ සිදුකරන ලද අතිරේක පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාවල රජයේ ආයතන සහ විශේෂඥයින්ගෙන් සමන්විත තාක්ෂණික ඇගයීම් කමිටුවක් මගින් ඇගයීමට ලක්කර එම වාර්තාව පිළිබඳ මහජන අදහස් ලබාගැනීමෙන් අනතුරුවල වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ උපදේශක සභාවේ නිර්දේශ සහ මධ්‍යම පරිසර අධිකාරියේ එකඟතාව ඇතිව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ පනතේ විධිවිධානයන්ටඅනුකූලව තමයි මෙම අවසරය නිකුත් කරල
    තියෙන්නෙ.

    මෙම ව්‍යාපෘතිය සඳහා කළුගල් ඝන මීටර් මිලියන 3.45කුත්  වැලි ඝන මීටර් මිලියන 65 කුත් අවශ්‍ය වන බව ගණන් බලා තිබෙනවා.එම කළුගල් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි බලපත්‍රලාභී අනුමත ගල් කොරි මගින් සපයා ගන්නත්ල මුහුදු වෙරළේ සිට කිලෝ මීටර් 04 ක් ඈත මුහුදෙන් පොම්ප කිරීමෙන් වැලි සපයා ගන්නත් සැලසුම් කරල තියෙනවා. කළුගල් ඝන මීටර් මිලියන 3.45 සඳහා රුපියල් බිලියන 1.83 කුත්ල වැලි ඝන මීටර් මිලියන 65 සඳහා රුපියල් බිලියන  170.14 කුත් වැය වන බව ගණන් බලා තිබෙනවා. අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කමිටුව නීතිපති උපදෙස් අනුව සකස්කරනු ලබන නව ගිවිසුම ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යගරු පාඨලී චම්පික රණවක මැතිතුමා විසින් මේ සම්බන්ධව විශේෂ ප්‍රකාශයක් ද ඉදිරියේදී සිදු කිරීමට නියමිතයි. මේ ගිවිසුම් දෙකම මේ සභාවට ඉදිරිපත් කරනවා.ගිවිසුම් දෙකම ඉදිරිපත් කළට පස්සේ ඒ ගැන සභාවට සොයා බලන්න පුළුවන්.


    මම සහ ජනාධිපතිතුමා චීනයට ගියාම, එකඟ වුණ සින්නක්කර ඔප්පු දෙන්න අවශ්‍ය නෑ කියල. අපේ ප්‍රතිපත්තිය පෙන්වා දුන්නා. පරිසර වාර්තාව අපිට අලුතින් හමු වුණා. අපිට තිබුණේ මේ ප්‍රශ්න දෙකයි. තවත් අඩු පාඩු ගැනත් සාකච්ඡා කළා යැයි ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya