අද (02) ඉන්දුනීසියාවේ ජකර්තා සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී 12 වන ලෝක ඉස්ලාමික ආර්ථික සමුළුවේ සමාරම්භක සැසිය අමතමින් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ සමස්ත ආසියානු කලාපයේම වර්ධනයට තුඩුදෙන මූලික සාධකය වන්නේ මීළඟ සියවසේදී අන්තර් ආසියාතික වෙළෙදාම පුළුල් කිරීම බවය. ඉදිරි දශකයේදී අන්තර් ආසියානු වෙළෙඳ බාධක ඉවත් කිරීමේ වැදගත් පියවර සිදුවන බව දැකිය හැකි බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
මේ පසුබිම මත ඉන්දිය සාගරයේ භූ ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්වීමේ බලාපොරොත්තුව සහිතව, යටිතල පහසුකම් සඳහා වූ දැවැන්ත සැලස්මක් හා බැඳුණු මහා පරිමාණ ආර්ථික ප්‍රතිසංස්කරණ සමුදායක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා ක්‍රියා කරන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකෙන්ම සැදුම්ලත් ජාතික රජයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් පිහිටුවා ඇත්තේ දේශපාලනික ස්ථාවරත්වය පමණක් නොව ස්ථාවර ආර්ථික වැඩ රාමුවක් ඇති කිරීමේ ද්වි පාර්ශ්වික එකඟතාවක් ද ඇති කර ගැනීම සඳහා යැයි ද පැවසීය.
ලෝකයේ රටවල් සියයකට අධික සංඛ්‍යාවකින් පැමිණි 2500 කට අධික නියෝජිත පිරිසකගේ සහභාගීත්වයෙන් ජකර්තා සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී අභිමානවත් හා විචිත්‍රවත් ලෙස ඇරඹුණු ලෝක ඉස්ලාමික ආර්ථික සමුළුවේ සමාරම්භක සැසියේ මුඛ්‍ය දේශනය ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විදොදෝ මහතා විසින් පවත්වන ලද අතර, මැලේසියානු අග්‍රාමාත්‍ය, ලෝක ඉස්ලාමික ආර්ථික සමුළුවේ අනුශාසක දතෝ ශ්‍රී මොහොමඩ් නජිබ් තුන් අබ්දුල් රසාක් මහතා විසින් විශේෂ දේශනය පවත්වන ලදී.
නවෝත්පාදන ඔස්සේ නිවැරදි දැක්මක් සහිතව ඉදිරියට යෑමෙන් තොරව අනාගතය ගොඩනංවා ගැනීමට නොහැකි බව සමුළුව අමතමින් ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විෙදාදෝ මහතා පැවසීය. ඉන්දුනීසියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසූයේ එවැනි ක්‍රියාමාර්ගයකින් තොරව ජයග්‍රාහකයන් බවට පත්වීමට නොහැකි බවය. එහෙයින් මේ අවස්ථාවේ පුළුල් හා ගැඹුරු ලෙස සාකච්ඡා කළ යුත්තේ ජයග්‍රහාකයන් බවට පත්වෙනවා ද නැතිනම් පරාජිතයන් බවට පත්වෙනවා ද යන්න පිළිබඳව බවද ඔහු පැවසීය.
මැලේසියානු අග්‍රාමාත්‍ය, ලෝක ඉස්ලාමික ආර්ථික සමුළුවේ අනුශාසක දතෝ ශ්‍රී මොහොමඩ් නජිබ් තුන් අබ්දුල් රසාක් මහතා ප්‍රකාශ කළේ ඉස්ලාම් දහම සමඟ ත්‍රස්තවාදයේ කිසිදු සම්බන්ධතාවක් නැති බවය. සැබෑ ඉස්ලාම් භක්තිකයා ත්‍රස්තවාදය පිළිකුල් කරන බවත්, ඉස්ලාම් දහම කරුණාව හා දයාව පදනම් කොට ගෙන ගොඩනැඟුනක් බවත් ඔහු අවධාරණය කළේය. විදේශීය බලපෑම්වලින් තොරව ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවත්වාගෙන යෑමේ අශ්‍යතාව සෑම ඉස්ලාම් රාජ්‍යයකටම තිබිය යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
තජිකිස්ථාන් ජනාධිපති එමොමාලි රහමන්, (Emomali Rahmon) ගිනි ජනරජයේ ජනාධිපති මහාචාර්ය ඇල්ෆා කොන්දෙ (Alpha Conde) , ජෝර්දාන් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය ජවාඩ් අල් අනානි (DrJawadAl-Anani), දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර සබඳතා හා සහයෝගීතා ඇමතිනී මෙයිටි කොනා මෂබේන් (Maite Nkoana-Mashabane) , කටාර් රාජ්‍යයේ ආර්ථික සහ වෙළඳ අමාත්‍ය ෂීක් අහ්මඩ් බින් ජසම් අල් තානි (Sheikh Ahmed bin Jassim Al Thani), කම්බෝජයේ කම්කරු, වෘත්තීය පුහුණු හා අග්‍රාමාත්‍ය කාර්යාලයීය අමාත්‍ය ඔක්නා දාතුක් ඔත්ස්මාන් හසන් (Oknha Datuk Othsman Hassan), පකිස්තාන ඉස්ලාම් ජනරජයේ වෙළඳ අමාත්‍ය කුරාම් ඩස්ට්ගිර් ඛාන් (Khurram Dastgir Khan), බංග්ලාදේශ සැලසුම් අමාත්‍ය ඒ එච් එම් මුස්තෆා කමල් (A H M Mustafa Kamal), ඇල්ජීරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ කාර්මාන්ත සහ කැණීම් අමාත්‍ය අබ්ඩීසෙලෙම් බව්චර්බ් (Abdesselem Bouchouareb), සහ ඉස්ලාමික සංවර්ධන බැංකුවේ සභාපති ආචාර්ය අහමඩ් මොහොමඩ් අලි (Dr Ahmed Mohamed Ali) යන මහත්ම මහත්මීහු ද සමාරම්භක උළෙල අමතා අදහස් දැක්වූහ.
උළෙල අමතමින් අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.
“ජකර්තා නුවර පැවැත්වෙන 12 වැනි ඉස්ලාමික ආර්ථික සමුළුවට සහභාගිවන ලෙස මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ඔබට ස්තුති කරන්න කැමතියි. මේ සමුළුව පැවැත්වෙන්නේ ලෝක ආර්ථිකයේ ඉතා වැදගත් අවධියකයි. එනම් වසර 8 කට ඉහත 2008 දී හටගත් ගෝලීය ආර්ථික අර්බුදයේ පසු කම්පනවලට මුහුණ දෙන්නට වෙර දරන සමයකයි.
ඉස්ලාමීය ජාතින් ලෝකයේ අන්‍ය රටවලට වඩා ශක්ත්මත්ව මේ ආර්ථික කුණාටුවට මුහුණ දී තිබෙනවා. වේගවත් සමාජ ආර්ථික ප්‍රගතියකට රුකුල්දෙන ස්වභාවික සම්පත් ගොන්නකින් ආශිර්වාද ලැබූ නිසා අප්‍රිකාවේ සිට අග්නිදිග ආසියාව තෙක් විහිදෙන ඉස්ලාමීය ජාතීන්ගේ චන්ද්‍රවංකය දශක කිහිපයක් තිස්සේම සංවර්ධනය සහ සමෘද්ධියට උරුමකම් කීවා.
මා මෙහි පැමිණ සිටින්නේ බහු ජාතික බහු ආගමික ජාතියක් වෙසෙන ශ්‍රී ලංකාද්විපයෙන්. අපේ රටේ බහුතර බෞද්ධ ජනතාව ක්‍රිස්තියානි හින්දු හා ඉස්ලාම් ආගමිකයන් සමඟ සියවස් ගණනාවක් සම්මිශ්‍රව තිබෙනවා. විවිධත්වය කැටි කරගත් මෙවැනි පොහොසත් සම්මිශ්‍රණයකට පසුබිම වූයේ කුමක්ද?
වෙළදාමයි. ප්‍රජාවන් හා ජාතීන් අතර සාමූහික සමෘද්ධියක් උදාකරවන බැඳීම් ඇති කළ ඓතිහාසික ක්‍රියාවලිය එයයි.
සේද මාවතත් ඉන්දියන් සාගරයත් පුරා අරාබි වෙළෙඳුන් අණසක පතුරුවා ගෙන සිටින අයුරු අප දන්නවා. 16 වන සියවස දක්වාම, එනම් වඩාත් වාසිදායක ලෙස වර්ධනය වු පෙර – අපරදිග වෙළඳ සබඳතාවෙන් කොටසක් ඩැහැගැනීම සඳහා යුරෝපීය වෙළෙඳුන් ඔවුන් සමග තරඟ කළ යුගය දක්වාම මේ තත්වය පැවතුණා.
මුල් යුගයේ මීට සමාන්තරව තවත් දෙයක් සිදුවුණා. ඒ තමයි චීනයත් ඉන්දියාවත් යුරෝපයත් අතර ගොඩබිමින් හා මුහුදින් භාණ්ඩ ප්‍රවාහනයත් සමඟ බුදුදහම මියැන්මාරයේ ශ්‍රී විජය රාජධානියේ සිට ඊසානදිග ආසියාවේ ඈත කෙළවර දක්වාම ව්‍යාප්ත වීම.
ප්‍රධාන වශයෙන්ම වෙළඳුන් හා ව්‍යාපාරිකයන් හරහා බුදු දහමත් ඉස්ලාම් ධර්මයත් ආසියාකරය හරහා ව්‍යාප්තවීම නිසා මේ කලාපයේ සෙසු ආගම් අතරත්, ජන සමාජ අතරත්, සංස්කෘතීන් අතරත්, ඉවසීම, කරුණාව හා දයාව පැතිරී ගිය බව උපකල්පනය කරන්නට පුළුවන්.
වර්තමානය දෙස බලන විට ගෝලීයකරණයේ සහ බටහිර නව ලිබරල්වාදයේ බලපෑම් මත ගෝලීය ආර්ථික ව්‍යූහයේ කඩිනම් වෙනස්කම් රැසක් සිදුවනු අපට දක්නට ලැබෙනවා. මේ වෙනස්කම් තවත් වසර ගණනාවක් සිදු වේවි. එසේ නැතිනම් ඒවායේ පූර්ණ බලපෑම අපට දැනෙන්නට වසර ගණනාවක් හෝ දශක කිහිපයක් ගතවේවි.
තවත් වසර ගණනාවක් යනතෙක් බටහිර ජාතීන් ගෝලීය වෙළදාම හා ප්‍රාග්ධන ගලනය වෙත ඔවුන්ගේ අණසක පතුරුවන්නට ඉඩ ඇතත්, ඒ සංවර්ධිත රටවල සැබෑ මධ්‍යම පන්තියේ ආදායම එකතැන රදා පවත්නා බව නිරීක්‍ෂණය වෙනවා.
එසේම පෙර-අපර දෙදිග වෙළදාමේ සමස්ත ක්‍රියාශීලීත්වයම වඩාත් සංකීර්ණ වන්නේ නැගී එන වෙළඳපලවල් හරහා තරුණ ලාභදායී සහ ඵලදායි තරුණ ශ්‍රමිකයන් ප්‍රාමාණික වශයෙන් වැඩිවීමත්, ඔවුන් නිපදවන භාණ්ඩ හා සේවා සඳහා කැපී පෙනෙන පාරිභෝගික ජනතාවක් එක් කර ගැනීමට හැකිවීමත් නිසයි.
අත්ලාන්තික් හා ඉන්දීය සාගරත් මධ්‍යම ආසියාවත් අතර විහිදී පැතිරි ගත් ඉස්ලාමීය ජාතීන් ලෝකයේ නැගී එන දැවැන්තම පාරිභෝගික වෙළඳපොවල් වන චීනයේ ඉන්දියාවේ සහ අප්‍රිකාවේ වර්ධනය වන ජනගහණය හරහා අස්වැන්න නෙලා ගැනීමට කටයුතු කරනු ඇති. නමුත් එතැනදී අපමණ අභියෝගයන් පමණක් නොව අවස්ථාවන් ද අප වෙත එල්ල වෙනවා.
විද්‍යාවේ හා තාක්ෂණයේ නවතම දියුණුවත්, සහස්‍ර ගණනාවක් තිස්සේ අප අතර ඇති වූ වෙළෙඳ සබඳතා මතින් ගොඩනැගුණු ශක්තිමත් පදනමත් එක් කරගතහොත්, යහපත් ප්‍රතිපත්ති හා ශක්තිමත් නායකත්වයක් ඔස්සේ එවැනි අභියෝග ජයගැනීමට හැකිවන බව මගේ විශ්වාසයයි. උදාහරණ ලෙස දක්වතොත් අපේ තරුණ පරපුර අතර අභිලාශයන් දළුලමින් තිබෙනවා. දියුණු සමාජ පසුබිමක ඵලදායී පරිසරයක් සහ උසස් ජීවන තත්ත්වයක් නිර්මාණය කර දෙන මෙන් ඔවුන් අපට අභියෝග කරනවා. ඔවුන්ගේ සිහින සහ අභිලාශයන් මුදුන්පත් කරදීම සඳහා ඩිජිටල් සාක්‍ෂරතාවය ප්‍රධාන මෙහෙවරක් ඉටු කරනු ඇතැයි මා සිතනවා.
මා පෙරදීත් සඳහන් කළ පරිදි මේ අභියෝගත් සමඟ අපට අවස්ථාවන් ද උදා වෙනවා.
දැන් අප අභිමුවෙහි පැහැදිලිවම දකින්ට ඇති අවස්ථාව වන්නේ අප්‍රිකාවත් මැද පෙරදිගත් දකුණු හා අග්නිදිග ආසියාවත් අතර වෙළදාම වර්ධනය වීමට එරෙහිව තිබූ ඓතිහාසික බාධක ඉවත්වීමයි.
සමස්ත ආසියානු කලාපයේම වර්ධනයට තුඩුදෙන මූලික සාධකය වන්නේ මීලඟ සියවසේදී අන්තර් ආසියාතික වෙළෙදාම පුළුල් කිරීම බව අප අමතක නොකළ යුතුයි. කෙසේ වෙතත් ඉදිරි දශකයේදී අන්තර් ආසියානු වෙළෙඳ බාධක ඉවත් කිරීමේ වැදගත් පියවර සිදුවන බව අපට දකින්න තියෙනවා. මෙය මුලික වශයෙන් ආසියානු අපනයනවලට බටහිර ලෝකයේ ඉල්ලූම අඩුවීමට ප්‍රතිචාරයක්. නමුත් වඩා වැදගත් වන්නේ එමගින් ආසියානු රටවල ඒක පුද්ගල පාරිභෝගික ආදායමෙහි ශක්තිමත් වර්ධනය පිළිබිඹු වන නිසයි.
අද බිලියන 1.7ක මහා ජනගහනයක් ද ලෝක බැංකුව පෙන්වාදෙන අන්දමට ලෝකයේ ඉහළම වර්ධන වේගය ද හිමි දකුණු ආසියාව ජීවත් වීම සඳහා යහපත් ම කලාපයයි.
බටහිර ආර්ථික ප්‍රතිපත්ති නිසා අපට ලැබෙන අවස්ථා වැඩි දියුණු කර ගන්නා අතරම, බුදුදහම, හින්දුදහම සහ ඉස්ලාම් දහම පදනම් කරගත් අපේ අනන්‍ය සංස්කෘතීන් ඔස්සේ ද පාඩම් උගත යුතුව තියෙනවා. උදාහරණ ලෙස දන්වතොත් ඉස්ලාම් වෙළඳ නීතියෙන් අනාගමික රාජ්‍යයන්ට උගත හැකි දේ බොහොමයි. විශේෂයෙන්ම සාධාරණ කර්මාන්ත සබඳතා, සාධාරන කොන්ත්‍රාත්, වෙළඳ ඒකාබද්ධතා, පොළී බරෙන් නිදහස් කිරීම ආදී ඉස්ලාම් සංකල්ප මෙහිදී අවධාරණය කළ හැකියි.
1970 ගණන් වලදී දකුණු ආසියාවේ ආර්ථිකය නිදහස් කිරීමේ පුරෝගාමියා ලෙස කටයුතු කළේ මගේ රට වන ශ්‍රී ලංකාවයි. දකුණු ආසියාවේ ආර්ථික නිදහස උපරිමයෙන්ම තිබෙන රට ලෙස ශ්‍රී ලංකාව ශ්‍රේණිගත වී තියෙනවා.
අද ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකෙන්ම සැදුම්ලත් ජාතික රජයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් පිහිටුවා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා සම්මුතිවාදී දේශපාලනයක් හඳුන්වා දෙමින්. මේ දේශපාලනික ප්‍රවේශය ඔස්සේ දේශපාලනික ස්ථාවරත්වය පමණක් නොව ස්ථාවර ආර්ථික වැඩ රාමුවක් ඇතිකිරීමේ ද්වි පාර්ශ්වික එකඟතාවක් ද ඇතිව තියෙනවා දශක ගණනාවක් තිස්සේ බෙදී වෙන්වී ක්‍රියා කළ දේශපාලන පසුබිමෙක මේ නව ප්‍රවණතාව කාලීන අවශ්‍යතාවක්. මේ පසුබිම යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණවලට ලැබෙන්නේ නව ජවයක්.
ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන අභිලාශයක් වූයේ ඉන්දිය සාගරයේ භූ ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්වීමයි. මේ බලාපොරොත්තුව සහිතව, යටිතල පහසුකම් සඳහා වූ දැවැන්ත සැල්ස්මක් හා බැඳුණු මහා පරිමාණ ආර්ථික ප්‍රතිසංස්කරණ සමුදායක් හඳුන්වාදීමට අප ක්‍රියා කරනවා.
• එයින් මුල් තැනක් හිමිවන්නේ මහනුවර - කොළඹ- හම්බන්තොට කොරිඩෝවටයි. මෙම කොරිඩෝවට මහනුවර නගරය පුළුල් කරලීම ඇතුළු ප්‍රධාන යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන් මාලාවක් ඇතුළත්.
• රැකියා අවස්ථා සහ ආර්ථික වර්ධනය සඳහා පදනම් කරගන්නා වයඹ කර්මාන්ත සහ සංචාරක සංවර්ධන සැලැස්ම
• බස්නාහිර මෙගා පොලිස් සැලසුම. මෙමගින් සමස්ත බස්නාහිරම මහා පුරවරයක් බවට පත් කෙරෙන අතර, එය පරිසර හිතකාමී තිරසර පුරවරයක් ලෙස සංවර්ධනය කෙරෙනවා. මේ පුරවරයට මිලියන 8.5 ක් ජනගහණයක් ඇතුළත්.
• ඓතිහාසික ගාලු පුරවරය කේන්ද්‍ර කර ගනිමින් සිදු කෙරෙන දකුණු සංචාරක යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන.
• හම්බන්තොට ආර්ථික සංවර්ධන සැලැස්ම. මෙමගින් දකුණු පළාත කාර්මීකරණයට ලක් කෙරෙන අතර, සංචාරක ප්‍රවර්ධන කලාපයක් ලෙස ද ගොඩනංවනවා. අතීතයේ හම්බන්තොට වරාය ජාවා සහ මලයාව යන රටවලින් තෙප්පම් පැමිණි ස්ථානයක්. අද හම්බන්තොට වරාය සංවර්ධනය සඳහා චීනය අප හා එක්වී සිටිනවා.
• කොළම නගරයට ආසන්න මුහුද ගොඩ කර හෙක්ටයාර 269 ක මූල්‍ය නගරයක් ඉදි කරනවා. එය දකුණු ආසියාවේ සංවිධාන සහ මූල්‍ය සේවාවන් සැපයෙන පදනමක් වෙනවා. එසේම හොංකොං සිට සිංගප්පූරුව හරහා ඩුබායි දක්වා වූ ව්‍යාපාරික දාමයට තවත් පුරුකක් එක් කිරීමකුත් වෙනවා.
• මේ ව්‍යායාමයන් කටුනායක සහ මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපල වලින් හා කොළම සහ හම්බන්තොට වරාය දෙකකින් තව තවත් ශක්තිමත් කෙරෙනවා.
• මේ වන විටත් අපගේ රජය ත්‍රිකුණාමල ආර්ථික සංවර්ධන සැලසුම සකස් කිරීම සඳහා සිංගප්පූරුවේ සුබානා ජුරොං සමාගම සමග ගිවිසුම් අත්සන් කර තියෙනවා.
ප්‍රයත්නයන් සමුදායක් මගින් අපේ රටේ වෙළදාම නිදහස් කරලීමේ වැඩසටහන අප ඉදිරියට ගෙනයනවා. ලෝකයේ ප්‍රධාන වෙළඳ පොලවල් කරා පිවිසිය හැකි අන්දමේ ද්විපාර්ශවික ගිවිසුම් ගණනාවක් සකස් කිරීමේ ප්‍රයත්නයන්ට අපි මුල පුරා තියෙනවා. මෙමගින් පවත්නා ගෝලීය ප්‍රතිපත්ති සංරෝධක අතරින් උපරිම නිදහස නෙලා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසෙනු ඇති.
මේ වසර අවසාන වනවිට ඉන්දීය රජයත් ශ්‍රී ලංකාවත් ආර්ථික තාක්‍ෂණික සහයෝගිතා ගිවිසුම හෙවත් එට්කා ගිවිසුම සම්පුර්ණ කරගැනීම අපේක්‍ෂා කරනවා. එට්කා ඉන්දියාවත් සමග පවතින අපේ ආර්ථික සහයෝගිතාවේ පරාසය පුළුල් කරමින් භාණ්ඩ හා සේවා ගමනයේ නිදහස තහවුරු කරනු ඇති. එසේම තාක්ෂණය සංවර්ධනය කිරීමේ සහයෝගිතාවක් පිළිබඳ අමතර අවධාරණයක් ද එහි තිබෙනවා.
ඒ සමඟම නිදහස් වෙළඳාම පිළිබඳ තවත් පියවර ගණනාවක් අප ගැනීමට අපේක්‍ෂා කරනවා.
1. තනි වෙළඳපලකට ලැබෙන විශේෂ සහනයක් වන GSP+ නැවත ලබාගන්නට අපි යුරෝපා සංගමය සමඟ සාකච්ඡා කරමින් සිටිනවා.
2. ලබන අවුරුද්දේ දී චීනය සමග නිදහස් වෙළෙඳ ගිවිසුම සම්පූර්ණ කරගන්නට බලාපොරොත්තු වෙනවා. එමගින් “එක් තීරයක් – එක් මාවතක්” සංකල්පය සමඟ සම්බන්ධවීමට අපට හැකිවෙනවා.
3. සිංගප්පුරුව සමග කඩිනමින් නිදහස් වෙළඳ ගිවිසුමකට එළැඹිමට සාකච්ඡා සිදුවෙමින් තිබෙනවා.
4. ශ්‍රී ලංකාව සහ ජපානය අතර සමීප ආර්ථික සහයෝගිතාවක් ඇති කරනවා.
5. දකුණු ආසියාවේ සිටින අපේ අසල්වැසියන් සමග ඇති වෙළඳ ගිවිසුම් තවදුරටත් පුළුල් කරගන්නටත් බලාපොරොත්තු වෙනවා.
6. බෙංගාල බොක්ක ආශ්‍රිත අනෙකුත් ජාතින් වන ඉන්දුනීසියාව, මැලේසියාව, තායිලන්තය හා මියැන්මාරය මෙන්ම බටහිර ආසියාතික ජාතීන් සමඟ ද වෙළද ගිවිසුම් ඇති කරගැනීමේ හැකියාව සොයා බලනවා.
7. අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය සමග එවැනි ගිවිසුම් වලට එළැඹිම ගැන ලබන වසරේදී සලකා බලනවා.
මම මේ අදහස් දැක්වීම අවසානයේ ඔබ සැමට අනාගතය වෙනුවෙන් සම්මුතිවාදී දර්ශනයක අවශ්‍යතාව යෝජනා කරන්නට කැමතියි. අපේ ඓතිහාසික වෙළඳ පසුබිම, ගෝලීයකරණයේ බහුවිධ බලපෑම් සහ අනාගමික බටහිර රටවල ආර්ථික ක්‍රමවේද, අපිට අනන්‍ය වූ ආගමික ආචර ධර්ම හා සිරිත් විරිත්, වර්තමාන අභියෝග සහ අවස්ථා යන සියල්ලම ඉස්ලාම් සහ අනාගමික රාජ්‍යයන්හි අනාගතය සමග වෙන් කළ නොහැකි සේ බැඳී පවත්නා බව මා අවධාරණය කරන්නට කැමතියි.
සමාජ සාධාරණත්වය සහ වෙළදාපොල ආර්ථිකයේ සමානාත්මතාවය මෙන්ම ආගමික අන්තවාදයද කරලියට පැමිණ ඇති මෙවන් යුගයක, අපේ ජාතීන් සාරවත් කළ හැක්කේ පෙර සඳහන් කළ ක්‍රමවේදයන්ගේ සහ සංස්කෘතීන්ගේ සම්මුතියක් පිළිගනිම්න් සිදු කෙරෙන සංවාදයක් ඔස්සේ බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, ජාතික ඒකාබද්ධතා සහ සංහිදියා රාජ්‍ය අමාත්‍ය ඒ එච් එම් ෆවුසි, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති දර්ශන එම් පෙරේරා, පස් අවුරුදු සැලසුම් ප්‍රධානී අර්ජුන මහේන්ද්‍රන්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ අග්‍රාමාත්‍ය විශේෂ සහයිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහුද මේ අවස්ථාවට එක්ව සිටියහ.