නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදු මගී ප‍්‍රවාහන සේවය කාර්යක්ෂම කිරීමට සහසර නියමු ව්‍යාපෘති ඇරඹේ

    ජූලි 20, 2016

    ප‍්‍රවාහන සේවාව මගී ජනතාව සතුටට හා තෘප්තිමත්භාවයට පත්කරන සේවාවක් බවට පත්කිරිම අත්‍යවශ්‍ය කටයුත්තක් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කළේය.

    ජනාධිපතිතුමා මේ බව සඳහන් කරනු ලැබුවේ මහනුවර, කුණ්ඩසාලේ පසුගියදා පැවති පොදු මගී ප‍්‍රවාහන සේවය හඳුන්වාදෙන සහසර නියමු ව්‍යාපෘතියේ සමාරම්භක උළෙලට සහභාගී වෙමිනි.

    රටකට අවශ්‍ය පරිවර්තනයන් සිදුකිරීමේදී ඇතැම් පිරිස් අනවබෝධය මත හෝ කඩාකප්පල් කිරීමේ මානසිකත්වය මත එම කාර්යයන් ඉටුකිරීමට බාධා කරන නමුත් යම් කාර්යයක් සාර්ථකව සිදුකිරීමට හැකිවන්නේ ඒ පිළිබඳ දක්වන කැපවීම තුළින් බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    වෘත්තීය සමිති බල අරගල හේතුවෙන් සහ අනවශ්‍ය ලෙස සේවකයින් බඳවා ගැනීම හේතුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය මෑත ඉතිහාසය තුළ බිඳ වැටීමකට ලක්ව පවතින බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එබැවින් මෙරට පොදු ප‍්‍රවාහන සේවාව වෙනුවෙන් අලුත් වැඩපිළිවෙළක අවශ්‍යතාවය මතුව ඇති බවද පැහැදිළි කළේය.

    පුද්ගලික හා ලංකා ගමනාගමන මණ්ඩලය සම්බන්ධයෙන් පවතින ගැටලු සඳහා නිසි විසඳුමක් අත්‍යවශ්‍ය වී තිබෙන කාලයක මෙවැනි ව්‍යාපෘති ක‍්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සිය කෘතඥතාවය පළකළේය.

    එමෙන්ම මෙවැනි ව්‍යාපෘති සාර්ථක කරගැනීමට සෑම පුරවැසියෙකුම සහය දියයුතු බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මෙම ව්‍යාපෘතිය රටපුරා ක‍්‍රියාත්මක කිරීමට කැපවිය යුතු බවද පැවසීය.

    නව ව්‍යාපෘතිය හඳුන්වාදීම පිළිබඳ බස්රථයේ ප‍්‍රදර්ශනය කරනු ලබන ”සහසර” නාම පුවරුව විවෘත කිරීම ජනපති අතින් සිදු වූ අතර ”සහසර පෙරගෙවුම් කාඞ්පත” මගින් ජනාධිපතිතුමා පළමු ප‍්‍රවේශ පත‍්‍රය ලබාගැනීම ද සිදුවිය. අනතරුව උපාය මාර්ගික ව්‍යවසාය කලමණකරණ ආයතනයේ සභාපතිවරයා විසින් ව්‍යාපෘති වාර්තාව ජනපතිතුමා වෙත පිළිගැන්විණි.

    මෙහිදී මගී ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කරන යන්ත‍්‍ර සහ සහසර නිල ඇදුම් කට්ටල බස් සහයකයින් වෙත සංකේතාත්මකව පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණු අතර රුපියල් 5000 ක් වටිනා සහසර පෙරගෙවුම් කාඞ්පත් බස්රථ හිමියන් වෙත පිරිනැමීම ද සිදුවිය.

    මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන එස්.බී දිසානායක, ඒ.ජේ. හලීම්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී ජයසිංහ, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක අබේසිංහ, අනුරාධ ජයරත්න, මධ්‍යම පළාත් ප‍්‍රවාහන අමාත්‍ය එදිරිවීර වීරවර්ධන, මධ්‍යම පළාත් මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති සහ ජනාධිපති පෞද්ගලික ලේකම් එරික් වීරවර්ධන මහතා සහ බස් සංගම් නියෝජිතයින් රැසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya