මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙද නිලධාරීන්ට උපාධිය අනිවාර්යයි - අමාත්‍ය රාජිත සේනාරත්න

    දෙසැම්බර් 30, 2015

    උපාධිධාරී හෙද හෙදියන් පමණක් ඉදිරියේ දී හෙද සේවාවට බඳවා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පසුගිය 28 වැනිදා පැවති සෞඛ්‍ය සේවා නිලධාරීන්ට පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීමේ උත්සවයක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    සෞඛ්‍ය සේවයේ මානව සම්පත ඉහළ නැංවීමට පියවර ගනිමින් හෙද නිලධරිනීන් 82 දෙනෙකුට, මහජන සෞඛ්‍ය පරික්ෂකවරු 226 දෙනෙකුට සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් 96 දෙනෙකුට මෙහි දී පත්වීම් ප්‍රදානය කෙරුණි.

     

    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව නංවාලීමට මෙවර අයවැයෙන් බිලියන 215 ක් වෙන් කර තිබෙන බවත්, සෞඛ්‍ය සේවාවේ සියළු පුරප්පාඩු 2016 වර්ෂය තුළ පිරවීමට කටයුතු කරන බවත් සඳහන් කළේය.

     

    හෙද හෙදියන් පුහුණු කිරීම සඳහා හෙද පීඨයක් ආරම්භ කොට හෙද නිලධාරීන් 2000 ක් පමණ බඳවාගෙන පුහුණුව හා උපාධිය ලබාදෙන බවත්, උපාධිධාරී හෙද හෙදියන්ට ලෝකයේ ඕනෑම රටකට ගොස් සේවය කිරීමට හැකි මහජන සෞඛ්‍ය හෙද සේවාව ආරම්භ කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

     

    ''උපාධිධාරින්ට පිළිගැනීමක් ලබාදිය යුතුයි. හෙද උපාධියට විරුද්ධව ඇතැම් වෛද්‍ය සංගම් සටන් කරති. ඉදිරියේ දී අනෙක් සේවා වලටත් උපාධිධාරී වැඩසටහන් ආරම්භ කළ යුතුයි. උපාධිධාරියෙකුට තවත් විභාග තියන්න එපා. එහෙම විභාග පැවැත්වුවහෝත් ඔවුන් කළකිරීමට පත්වෙනවා. උපාධිධාරී හෙද හෙදියන්ට පුහුණුව ලබාදිය යුත්තේ පශ්චාත් උපාධියක් ඇති පුද්ගලයින් පමණයි. දැනට උපාධිධාරි හෙද හෙදයින්ට ලබාදෙන පුහුණුව තාවකාලිකව නතර කර විශිෂ්ට දේශකයන් ඇතුළත් කර පුහුණුව ලබා දිය යුතුයි'' අමාත්‍යවරයා පැවසීය.

     

    සෞඛ්‍ය සේවාවේ රාජකාරී නියම ආකාරයෙන් කළොත් පිං ලැබෙනවා. සංසාර චක‍්‍රයේ කළ පුණ්‍යකර්මයක් නිසයි සෞඛ්‍ය සේවාවේ රැකියාවක් ලැබෙන්නේ. එය නිසි පරිදි ඉටු කරන්නේ නැතිනම් පාපකර්මයක්. රෝගීන් නැතිනම් රැකියාවත් නොමැත, යයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.

     

    සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මැතිතුමා, සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍යෙ) සරත් අමුණුගම මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (හෙද) එම්. රහුමාන් මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පුහුණු හා පර්යේෂණ) සුනිල් ද අල්විස් මහතා ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya