අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 අය වැය තුළින් කිසිදු රජයක් වෙන් නොකළ විශාල මුදලක් අධ්‍යාපනයට වෙන් කර තිබෙනවා

    නොවැම්බර් 22, 2015

    අය වැය යෝජනා තුළින් අධ්‍යාපනයට මෙතෙක් කිසිදු රජයක් වෙන් නොකළ විශාල මුදලක් 2016 අය වැය තුළින් නව රජය වෙන් කර ඇති බව ජනාධිපතිතුමා පැවසීය. එය පසුගිය දශක කිහිපය තුළ වාර්ෂිකව වෙන් කළ මුදලට වඩා හතර ගුණයක් බවද ජනාධිපතිතුමා පැවසීය.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මාළඹේ ආදර්ශ පිරිමි විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට ඊයේ (21) පෙරවරුවේ එක් වෙමිනි.

     

    විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගත් අතර ශිෂ්‍ය භට බලකායේ උත්තමාචාරයද ජනාධිපතිතුමා වෙනුවෙන් පිළිගැන්විණි.

     

    ත්‍යාග ප‍්‍රදානෝත්සවය ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ දරුවන් සමාජය තුළ මුහුණදෙන ඛේදවාචකයන්ගෙන් ඔවුන් ගලවා ගැනීම සදහා දෙමාපියන් සහ ගුරුවරුන් අතර දැනට වඩා සංවාදශීලි අවස්ථා ඇති කරමින් සුහදතාවය වැඩිදියුණු කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ලබන වසරේ සිට කි‍්‍රයාවට නංවන බවයි.

     

    රජයක් ලෙස මෙන්ම එහි පාලකයින් ලෙස රටේ දරුවන්ටත්, ජනතාවටත් ලබාදිය හැකි අගනාම දායාදය වන්නේ රටේ ජනතාව හැකිතරම් දැනුමෙන් පෝෂණය කිරීම බව පැවසූ ජනාධිපතිතුමා රටක වඩ වඩාත් උගතුන් බිහිවීම තුළ එම රට සමෘද්ධිමත්වන බවද කියා සිටියේය.

     

    අධිෂ්ඨානයෙන්, සහ කැපවීමෙන් ජීවිතය ජය ගැනීමට දරුවන් කටයුතු කළයුතු බව පැවසූ ජනාධිපතිතුමා පොළොන්නරුව වැනි ඈත දුෂ්කර ප‍්‍රදේශයක වෙළේ, ඉපනැල්ලේ සුව`ද සහ දුහුවිල්ල සමග හැදුණු වැඩුණු සාමාන්‍ය පුරවැසියෙකු වන තමා රටේ ජනාධිපතිවරයා ලෙස ජනතාව පත් කර ගත්තේ තමා තුළ තිබෙන එම නොපසුබට අධිෂ්ඨානය, කැපවීම සහ අවංක භාවය නිසා බවද දරුවන්ට පැවසීය.

     

    මාළඹේ ආදර්ශ පිරිමි විද්‍යාලයේ 2014 වසරේ විශිෂටතා දැක්වූ දරුවන්ට මෙහිදී ජනාධිපතිතුමා අතින් තිළිණ ප‍්‍රදානය කෙරුණු අතර පසුගිය ශිෂ්‍යත්ව විභාගයෙන් සහ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්වූ සිසුන්ටද තිළිණ ප‍්‍රදානය කෙරිණි.

     

    එමෙන්ම නිවාඩු නොලබා කැපවීමෙන් සේවය කළ ගුරු භවතුන්ද මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.

     

    විදුහල්පති සිසිර ගුණරත්න මහතා විසින් ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වූ අතර ජනාධිපතිතුමාගේ සම්ප‍්‍රාප්තිය සනිටුහන් කරමින් විද්‍යාල පරිශ‍්‍රයේ සදුන් පැළයක් රෝපණය කිරීමද සිදු විය.

     

    අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා සහ පළාත් සභා මැති ඇමතිවරු පිරිසක්ද, විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, ආදි සිසුන්, දෙමාපියන්, ප‍්‍රදේශවාසින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya