පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී කතානායකවරයාගේ අවධානයට යොමු කරන ලදී. එහිදී කතානායකවරයා ඒ පිළිබඳව සාකච්ඡා කොට අද (21) පාර්ලිමේන්තුවට දන්වා සිටින බව ප්‍රකාශ කළේ ය. ඒ අනුව කතානායකවරයා අදාළ නිවේදනය ප්‍රකාශයට පත් කළේ ය.
"පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ සභාවේ ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතු බව මාගේ විශ්වාසයයි. මේ හා සමාන කරුණක් පිළිබඳ 2015 මාර්තු 03 වන දින නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියෙමි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත් අඩංගුවට ගන්නා අවස්ථාවන් හිදී ඒ පිළිබඳ කතානායකවරයාට දැන්වීමේ සම්ප්‍රදාය තවදුරටත් පවත්වා ගෙන යාම සුදුසු බවයි. මේ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද පාර්ලිමේන්තුවේද ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කළ හැක්කේ කෙසේද යැයි විමසා බැලීමට අල්ලස් කොමිසමේ සභාපතිවරයා මා විසින් කැඳවන ලදී. ගරු මන්ත්‍රීවරුන්ගේ ගෞරවය, පුද්ගලික ජීවිතයට සහ පාර්ලිමේන්තු කටයුතුවලට අනිසි බලපෑමක් හෝ බාධාවක් සිදු නොවන ලෙස කටයුතු කිරීම සහ අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම් සභා පනතේ 17 වගන්තියේ සඳහන් වන පරිදි පරීක්ෂණ පිළිබඳ උපරිම රහස්‍යභාවය රැකීම උචිත බව මා විසින් අවධාරණය කරන ලදී.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත් අඩංගුවට ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය සහ යම් පරීක්ෂණ කටයුත්තක් ආරම්භ කරන විට ද අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් මා දැනුවත් කිරීම සුදුසු බව මාගේ අදහසයි. එවැනි පරීක්ෂණයක දී ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍යතාවක් පැන නැගුන හොත් එම ප්‍රකාශ ගැනීම පාර්ලිමේන්තු කටයුතුවලට බාධාවක් නොවන ලෙස දිනයක්, ස්ථානයක් තෝරා ගැනීම උචිත බව මම තවදුරටත් ප්‍රකාශ කරමි. පරීක්ෂණ කටයුතුවල රහස්‍යභාවය රැකීමට කොමිසම් සභාව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරමි. මාධ්‍ය ආයතන ද ප්‍රවෘත්ති පළ කිරීමේදී වගකීමෙන් යුතු ව කටයුතු කරනු ඇතැයි ප්‍රකාශ කරමි යැයි" කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.