අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දු - ශ‍්‍රී ලංකා ධීවර සංගම් සාකච්ඡා මැයි 12 කොළඹදී Featured

    මැයි 04, 2014

    ශ‍්‍රී ලංකාවේ උතුරු පළාත ඇතුළු ධීවර සංවිධාන නායකයන් හා ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ ධීවර සංවිධාන නායකයන් අතර දෙවැනි වටයේ සාකච්ඡා ලබන 12 වැනි දින කොළඹදී ආරම්භ කරන බව ධීවර අමාත්‍යාංශය පවසයි.


    මේ දෙවැනි වටයේ සාකච්ඡා පසුගිය මාර්තු 13 වැනි දින පැවැත්වීමට නියමිතව තිබුණි. තමිල්නාඩු බලධාරින්ගේ ගැටලු සහගත තත්ත්වයන් නිසා මේ සාකච්ඡා අවලංගු කෙරුණි. ඉන් පසුව යළිත් වරක් තමිල්නාඩු ධීවර සංවිධානවල ඉල්ලීම මත සාකච්ඡා සඳහා පසුගිය මාර්තු 27 වැනිදාට දින නියම කෙරුණි. නමුත් තමිල්නාඩු ධීවර සංවිධාන නොපැමිණිම නිසා යළිත් වරක් එම සාකච්ඡා ද අවලංගු කෙරුණි.


    ඉන්දියානු මධ්‍යම රජය තමිල්නාඩු - ශ‍්‍රී ලංකා ධීවර සංවිධාන සාකච්ඡා සඳහා මැයි මස 12 හෝ 13 යන දිනවලින් එක් දිනක් ලබාදෙන ලෙස කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මඟින් ඉල්ලා සිටියේය. ඒ අනුව මැයි 12 වැනි දිනය ලබාදීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනු ලැබීය. මේ අනුව එදින සාකච්ඡා පැවැත්වීමට තීරණය කළ බව එම අමාත්‍යාංශය දැන්වීය.


    පසුගිය ජනවාරි 27දා ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ චෙන්නායි හි පැවති පළමු සාකච්ඡාවලින් පසුව ඇති කරගත් එකඟතාවන් හි සාර්ථකත්වය මෙහිදි සාකච්ඡා කෙරෙනු ඇත.


    පසුගිය චෙන්නායි සාකච්ඡාවලදී ඇති කරගත් එකඟතාවන්ට අනුව ඉන්දීය යාත‍්‍රා තහනම් පන්න ක‍්‍රමයක් වන ට්‍රෝලිං කිරීම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට එකඟ විය. මේ වසරේ පෙබරවාරි 10 සිට මාර්තු 10 දක්වා මාසයක කාලයක් ඉන්දීය යාත‍්‍රා ශ‍්‍රී ලංකාවේ උතුරු ප‍්‍රදේශයේ මුහුදු සීමා උල්ලංඝනය නොකරන බවටද එකඟ විය. එසේම ඔවුන් මෙම කාලය තුළ ට්‍රෝලිං අතහැර විකල්ප ක‍්‍රම අනුගමනය කිරීමටද ඒ පිළිබඳව ප‍්‍රාන්ත රජය සමඟ මෙන්ම ඉන්දීය මධ්‍යම රජය සමඟ ද සාකච්ඡා කිරීමට එකඟ විය.


    මෙහිදී ශ‍්‍රී ලංකා පාර්ශවයේ ධීවර සංවිධාන නායකයන් පවසා ඇත්තේ මොනම හේතුවක් නිසාවත් ශ‍්‍රී ලංකා මුහුදු සීමා තුළට විත් මත්ස්‍ය කර්මාන්තයේ නොයෙදෙන ලෙසයි.


    නමුත් චෙන්නායි ධීවරයන් මෙම එකඟතා කඩකරමින් වාර කීපයකදීම ශ‍්‍රී ලංකා මුහුදු සීමා උල්ලංඝනය කරමින් මත්ස්‍ය කර්මාන්තයේ යෙදීම නිසා ඉන්දීය තමිල්නාඩු ධීවරයන් හා යාත‍්‍රා අවස්ථා ගණනාවකදීම නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණමය කටයුතු සඳහා යොමුකර පසුව නිදහස් කරනු ලැබීය. මේ වන විට දෙරටේ කිසිදු ධීවරයෙක් හෝ යාත‍්‍රා හෝ අත්අඩංගුවේ නොමැත. මෙම ඉන්දු-ශ‍්‍රී ලංකා ධීවර සංවිධාන 2 වැනි වටයේ සාකච්ඡාවලදී මෙම එකඟතා කඩවීම ගැනත්, මෙම ගැටලුවට තිරසාර විසඳුමක් ලබාදීම සඳහාත් සාකච්ඡා කිරීමට නියමිතය. මෙම සාකච්ඡා සඳහා ඉන්දීය පාර්ශවයෙන් ධීවර සංවිධාන නායකයන් 18 දෙනෙකු හා නිලධාරීන් 08 දෙනෙකු සහභාගි වනු ඇත. ශ‍්‍රී ලංකා පාර්ශවයෙන් ධීවර සංවිධාන නායකයන් 20 දෙනෙකු හා නිලධාරීන් 10 දෙනෙක් ද සහභාගි වෙති.


    මෙහිදී ධීවර සංවිධාන නියෝජිතයන් මුහුණට මුහුණ ලා සාකච්ඡා කරන අතර දෙරටේ නිලධාරීන්, නිරීක්ෂකයෝ ලෙස සහභාගී වෙති. ශ‍්‍රී ලංකා ධීවර නියෝජිත පිරිසට යාපනය, මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව, ත‍්‍රීකුණාමලය, පුත්තලම දිස්ත‍්‍රික් ධීවර සංවිධාන නායකයන් සහභාගී වන අතර දකුණේ දිස්ත‍්‍රික්ක කිහිපයක ධීවර සංවිධාන නායකයන්ද සහභාගි වීමට නියමිත බව ධීවර අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya