නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පසුගිය සමයේ දේශපාලනය සඳහා රාජ්‍ය ආයතන විශාල වශයෙන් යොදාගත්තා - පාඨලී චම්පික රණවක

    ජනවාරි 27, 2015

    "මේ ආයතනයට චෝදනා රාශියක් තිබෙනවා. ඛණිජ තෙල් සංස්ථාව රටේ සල්ලි කන යක්ෂයෙක්, බහිරවයෙක් කියලා. නමුත් මේ ආයතනය සල්ලි කෑවේ නැහැ. දූෂිත රාජපක්ෂ පාලනයට අවශ්‍ය මුදල් ලබාගන්න තමයි මේ ආයතනය කෑවේ" යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවසීය.

    ඒ මහතා මේ බව පැවසුවේ, අද (27) පෙරවරුවේ කොලොන්නාව, ලංකා ඛණිජ තෙල් තොග ගබඩා නිමා සමාගමේ නව සභාපති වශයෙන් පත්වූ රොෂාන් ගුණරත්න මහතා වැඩ ආරම්භ කළ අවස්ථාවට සහභාගී වෙමිනි. මේ සඳහා රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාද එක්විය. මෙම අවස්ථාවට සමගාමීව අමාත්‍යවරුන් දෙපළ, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා නිමාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

     

    ඉන් අනතුරුව පැවති සේවක හමුව ඇමතූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා.......

     

    "පසුගිය සමයේ දේශපාලනය සඳහා රාජ්‍ය ආයතන විශාල වශයෙන් යොදාගත්තා. ඒ අවස්ථාවේදී ඛණිජ තෙල් සංස්ථාව බරපතල ලෙසම දේශපාලන කටයුතු සඳහා යොදා ගත්තා. මෙම දේශපාලන ව්‍යසනයෙන් අපි මෙම ආයතනය මුදාගත යුතුයි. ජනතාව අපට ඡන්දය දුන්නේ ඒ සඳහායි. මේ ආයතනය සහමුලින්ම විනාශ මුඛයට ඇද දමන්න එදා ඒ පිරිස් කටයුතු කළා. දැන් අපි මෙම ආයතනය ආදර්ශමත් ආයතනයක් ලෙස ගොඩනැගිය යුතුයි.

     

    මේ ක්ෂේත්‍රයට විශාල චෝදනා තිබෙනවා. ඛණිජ තෙල් සංස්ථාව කිව්වම ජනතාවට මතක්වෙන්නේ, දූෂණය වංචාව වගේ දේවල්. සාමාන්‍යයෙන් ජනතාව දකින්නේ හොරෙන් තෙල් ගන්නවා, වාහන අයථා ලෙස පරිහරණය කරනවා. පිරවුම්හල් ලබාදෙද්දි පගා ගන්නවා වගේ දේවල් කිහිපයක් විතරයි. නමුත් ජනතාව නොදකින පැත්තකුත් තියෙනවා. නමුත් ඊට වඩා ජාතික මංකොල්ල සිදුවෙන්නේ තෙල්, ගල් අඟුරු, ගෑස් මිලදී ගැනීම් වලදී. 2011 වසරේදී ලංවිම කරද්දි, පාලනාධිකාරිය අපිට පස් වතාවක් තෙල් ලබාදුන්නේ නැහැ. තෙල් හිඟයක් ඇතිකළා. පාරිතෝෂිකය ඉහළ දැම්මා. ප්‍රකෝටි ගණනින් මුදල් ගසා කෑවා. මේ ගැන අපි සිය දහස් වතාවක් රාජපක්ෂ ජනාධිපතිතුමාට කිව්වා. නමුත් නතර කරන්න පියවර ගත්තේ නැහැ. ගෑස් වලිනුත් සෑම ටොන් එකකින්ම ඩොලර් 15 ක අතිරේක මුදලක් ලබා ගත්තා. ගල් අඟුරු ටෙන්ඩර් කවදාවත් නිසි පරිදි ලබාදුන්නේ නැහැ. කැසිනෝ හිමියෙකුට බලය දුන්නා ගල් අඟුරු ගෙන්වන්න. රාජපක්ෂ ජනාධිපතිගේ පුත්තුන්ට අහසේ චන්ද්‍රිකා අරින්න සල්ලි ලැබුණේ ඒ ගල් අඟුරු කාරයින්ගෙන්. මින් ඉදිරියට ඒ ආකාරයේ අක්‍රමිකතා සිදුවෙන්න අපි ඉඩදෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම තරාතිරම නොබලා දූෂිතයන්ට දඩුවම් ලබාදෙන්න, මමත් රාජ්‍ය ඇමතිතුමාත් කැපවෙනවා. ඛණිජතෙල් ක්ෂේත්‍රය දූෂණ සොයාබලන්න මම කොමිසමක් පත්කළා. ඒ කොමිසමට සභාපතිතුමා හරහා තොරතුරු ලබාදෙන්න, සහාය දක්වන්න කියලා මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

     

    ආයතනය පිරිසිදු වෙන්න ඕන. අපි පිරිසිදු වෙන්න ඕන. ඒ මගින් රටට ආදර්ශයක් ලබාදෙන්න. පක්ෂ, පාට භේදයකින් තොරව අපි සියලු දෙනාම දායක වියයුතුයි. මේක එක පක්ෂයක ආණ්ඩුවක් නෙමෙයි. ජාතික සමගි සන්ධාන ආණ්ඩුවක්. ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පත්වුණා. අගමැතිතුමා එක්සත් ජාතික පක්ෂයෙන් පත්වුණා. මේ වගේ ජාතික සමගි සන්ධාන ආණ්ඩුවක් පත්වූ පළමු අවස්ථාව මේක. එම සමගිය ආයතන තුළත් තිබිය යුතුයි. ඒ තුළින් ආයතනයේ ඉදිරි ගමනක් මෙන්ම මේ ආයතනය රටට බරක් නැති ආකාරයට ගොඩනැගිය හැකියි.

     

    පසුගිය ආණ්ඩුව තෙල් වලට අධික බදු පනවලා, රටට පෙන්නුවා ඛණිජ තෙල් සංස්ථාව පාඩුයි කියලා. ලබන අයවැයෙන් ඔබට දැනගන්න ලැබෙයි ඛණිජ තෙල් සංස්ථාව කොපමණ ණයද, ඒවගේම මේ රට කොපමණ ණයද, පසුගිය ආණ්ඩුව කලේ මොනවාද කියලා" යැයි පැවසීය.

     

    මෙම අවස්ථාවට සහභාගී වෙමින්, විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසා සිටියේ, තෙල් සඳහා මිල සූත්‍රයක් ක්‍රියාවට නැංවීමට කටයුතු කරගෙන යන බවත්, ආයතනය පවත්වාගෙන යාමට සහ ජනතාව සතුටු කිරීම වෙනුවෙන් මෙසේ මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළයුතු බවත්ය. එමෙන්ම ඉන්ධන මිලෙන් මෙන්ම තෙල් ගෙන ඒමේදීත් පසුගිය සමයේ ගසාකෑමේ සූත්‍රයක් ක්‍රියාත්මකවූ බවත් මෙතනින් ඔබ්බට එම ගසාකෑමේ සූත්‍ර සියල්ල අහෝසිවන බවත් පාලිත රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

     

    මෙම අවස්ථාවට ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ පාලනාධිකාරිය, සියලු වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු සේවක සේවිකාවන් එක්වූහ.

    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya