අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඛනිජ තෙල් සංස්ථාවේ අනියම් සේවකයින් 135කට පත්වීම් Featured

    අප්‍රේල් 29, 2014

    කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අනියම් සේවක පදනම මත සේවය කළ 135 දෙනෙකු සඳහා පත්වීම් ලිපි බෙදාදීම ඛනිජතෙල් අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතාගේ ප‍්‍රධානත්වයෙන් සංස්ථා ශ‍්‍රවණාගාරයේ දී අද (29) සිදුකෙරිණි.


    ඛනිජ තෙල් සංස්ථාවේ අනියම් සේවකයින් වශයෙන් සේවය කළ සේවකයින්ගේ ගැටලුව විසඳීම සඳහා කළමනාකරණ දෙපාර්තමේන්තුව සමඟ සිදු කළ සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් ලෙස මූලික සුදුසුකම් සපුරා තිබු සේවකයින් සඳහා මෙසේ පත්වීම් ලිපි බෙදාදුන් අතර වසර ගණනක පැවති සේවක ගැටලුවකට විසඳුම් ලබාදීමට මෙයින් හැකිවිය. මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයා වශයෙන් සහභාගීවූ අමාත්‍යතුමා මෙසේ අදහස් පළකරන ලදී.


    වර්ෂ ගණනාවක පැවති සේවක ගැටලුව විසඳා ගැනීම සඳහා කළමනාකරණ දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා වට කීපයක් පැවැත්වූ බවත් ඒ වගේම අධ්‍යක්ෂ මණ්ඩල සාකච්ඡාවකින් පසු වර්ෂ ගණනක් ආයතනය වෙනුවෙන් සේවය කළ සේවකයින් සඳහා ආයතනයට බරක් නොවන ආකාරයෙන් පත්වීම් ලබාදීමට හැකිවීම පිළිබඳව තමා සතුටුවන බවත් පැවසීය. මෙම ප‍්‍රශ්නය විසඳන්න සාකච්ඡා සඳහා බොහෝ කාලයක් වැය කිරීමට සිදු වූ නිසා පැවති සේවක ගැටලුව විසඳීමට යම් කාලයක් ගතවූ බව ද අමාත්‍යවරයා පැවසීය.


    සිරිතක් වශයෙන් තමා නව අමාත්‍යාංශයක වැඩභාරගත් විට මීට පෙර කටයුතු කළ රජයන් හෝ ඇමතිවරු බඳවාගත් සේවකයින් පිළිබඳව අඩු සැලකිල්ලක් නොදක්වන බවත් ඒ සියලුදෙනා එකට එකතු කර ගනිමින් ආයතනික අභිමතාර්ථ ළඟා කරගත යුතු බව තමා විශ්වාස කරන බවත් ඒ අනුව කටයුතු කරන බවත් පැවසීය. පුරප්පාඩු නැතුව බඳවාගැනීම තුළ ආයතනයටත් සේවකයාටත් ගැටලුවලට මුහුණදීමට සිදුවන නිසා තම වගකීම යටතේ ඇති ආයතන සඳහා අනවශ්‍ය බඳවාගැනීම් කිරීමට කිසිම දිනෙක සූදානම් නැති බවත් අමාත්‍යතුමා තවදුරටත් පැවසීය.


    එසේම තම රැකියා ස්ථිර වූ විට මුළු ජීවිත කාලය පුරාවටම තමුන්ගේ අනාගතය සුරක්ෂිත වන අතර ආයතනයේ පවතින වරප‍්‍රසාද සහ අවස්ථා ලබාගැනීම සඳහා උනන්දුවෙන් කටයුතු කළ යුතු පවද ඔහු මෙහිදී පෙන්වා දෙන ලදී. සේවක ණය පහසුකම් වැනි විවිධාකාර මුල්‍ය පහසුකම් තිබෙන නිසා සමහර සේවකයින් මේ සියල්ල ලබාගන්නා බව පැවසූ අමාත්‍යතුමා සෑම කෙනෙක්ම තමන්ගේ වැටුප ගෙදර ගෙන යාමට කටයුතු කරන ලෙස ද පැවසීය.


    විශේෂයෙන් වෘත්තීය සමිතිය සේවක සුබසාධනය වෙනුවෙන් විශාල මහන්සියක් ගන්නා බවත් ආයතනයක සේවක සුබසාධනය ඇති කරන්න නම්, සේවකයා ලොකු වගකීමක් දැරිය යුතුයි. යුතුකම් ගැන වැඩියෙන් කථාකර වගකීම් ගැන අඩුවෙන් කථාකිරීම වෘත්තීය සමිති වගකීම නොවන බවත් මේ අවස්ථාවේ පෙන්වා දුන් අමාත්‍යතුමා වගකීම් පමණක් නොව ආයතනය වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් කොටසක් ද තිබෙන බවත් පැවසීය. දිගුකාලීනව සේවක අයිතිවාසිකම් රැකගෙන ආයතනයක් ලාභ ලැබිය යුතු නිසා ආයතන කළමනාකාරීත්වය දියුණු කළ යුතු බව අමාත්‍යතුමා මෙහිදී සඳහන් කරන ලදී. ලංකා ඛනිජ තෙල් සංස්ථාව සාමාන්‍ය රාජ්‍ය ආයතනයක් නොව වෙළෙඳ ආයතනයක් බව පැවසූ අමාත්‍යවරයා වෙළෙඳාමෙන් ආයතනයට ලැබෙන ලාභ වර්ධනයට සහය ලබාදිය යුතු බව ද ඒ තුළින් ආයතනයේ වෙනසක් කිරීමට හැකි බවද තවදුරටත් පැවසීය.


    බොහෝ ආයතනවල තාවකාලික සේවකයින් විශාල ප‍්‍රමාණයක් සිටින බවත් තම පාලන යටතේ පවතින ආයතනවල එසේ නොමැති බවත් පැවසූ අමාත්‍යතුමා තාවකාලික පදනම මත තවදුරටත් සේවය කරන අයගේ ගැටලු විසඳීමට ඉදිරියේදී කටයුතු කරන බවත් පැවසීය. එසේම රාජ්‍ය ආයතනවල හොඳ කළමනාකාරිත්වයක් පැවතිය යුතු යැයි ද රාජ්‍ය අංශයේ හොඳ කළමනාකාරීත්වයක් පවතින විට පෞද්ගලික අංශයට අභියෝග කිරීමට හැකි බව තමන් විශ්වාස කරන ආර්ථික න්‍යාය බවත් ඔහු පෙන්වා දෙන ලදී. එසේ නොමැතිනම් පෞද්ගලික අංශ විසින් රාජ්‍ය අංශය ගිල ගන්නා බවත් ලංකාව වැනි රටක එය සුදුසු නොවන බවත් පැවසීය.


    තමා සේවය කරන ආයතන ප‍්‍රධානියා සමඟ නිසි ලෙස ගෞරවාන්විතව හැසිරෙන්නටත්, ආයතන රෙගුලාසිවලට අනුගත වී කටයුතු කරන්නටත් යම් ගැටලුවක් තිබෙනවා නම් ඉහළ නිලධාරීන්ටත් වාර්තා කිරීමට කටයුතු කරන ලෙසත් මෙහි දී පත්වීම් ලද සේවකයින් ගෙන් ඉල්ලීමක් කරන ලදී. එවිට හොඳ ආයතනයක් සහ සේවක පන්තියක් නිර්මාණය වන බව අමාත්‍යතුමා පෙන්වා දෙන ලදී. එසේම ලියුම් ලියා හර්තාල් ඇති කර ආයතනයට ප‍්‍රශ්න ඇති කර තම ප‍්‍රශ්නවලට පිළිතුරු සෙවීමෙන් ආයතනය ද මහජනතාව ඉදිරියේ පිරිහෙන බව තවදුරටත් පැවසීය, ගැටලුවලට ශිෂ්ට සම්පන්නව වැඩ කරන්න. ශිෂ්ට සම්පන්නව හැසිරීම තුළ ආයතනයක ප‍්‍රභාව ඇතිවන බවත් ඒ ප‍්‍රභාව ඇති කිරීමට සහයෝගය ලබාදී ජනතා හිතවාදී ආයතනයක් ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව පත්කිරීමට කටයුතු කිරීමට අදිටන් කරගන්නා ලෙසත් නව පත්වීම ලද සේවකයින්ගෙන් ඉල්ලා සිටින ලදී.

    එසේම තමන් මෙම ආයතනය භාරගන්නා විට ආයතනය පිළිබඳව වැරදි අදහස් සමාජයේ තිබුණු බවත් මේ වැරදි අදහස් නිවැරදි කිරීම සඳහා ක‍්‍රියාමාර්ග රාශියක් ගෙන ඇති බවත් පැවසූ අමාත්‍යතුමා ඇතැම් නිලධාරින්ද වැරදි මතයක සිට කටයුතු කළ බව පැවසීය. වර්තමානයේ මේ සෑම පාර්ශවයකම ඛනිජ තෙල් සංස්ථාව පිළිබඳව හොඳ අදහසක් නිර්මාණ වී තිබෙන බවත් ඒ අදහස ක‍්‍රමානුකූලව ඉදිරියට ගෙනායාමට සැමදෙනාම එකට එකතු වී කටයුතු කරමු යැයි ද අමාත්‍යතුමා තවදුරටත් පැවසීය.


    ඛනිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ සුසන්ත සිල්වා මහතා ඇතුළු ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් අවස්ථාවට සහභාගී වූහ.


    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya