මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළමු වරට ජාතික විද්‍යා සතියක්

    නොවැම්බර් 02, 2014
    සාම්ප්‍රදායිකව අනුගමනය කළ විද්‍යා දින සැමරුම් සංකල්පයෙන් ඔබ්බට ගොස් ශ්‍රී ලංකාවේ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාතික විද්‍යා සතියක් ප්‍රකාශයට පත්කිරීමට තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය කටයුතු කර තිබේ. 
     
    ඒ අනුව 2014 නොවැම්බර් 04 සිට 10 වනදා දක්වා ජාතික විද්‍යා සතිය නම් කර ඇති අතර ඊට සමගාමී ව විශේෂ විද්‍යා කලාපයක් අමාත්‍යාංශයට අනුබද්ධ කාර්මික තාක්ෂණ ආයතනය (ITI) මූලික ව බෞද්ධාලෝක මාවත, නිදහස් චතුරස්‍ර පරිශ්‍රය අවට භූමියේ ක්‍රියාත්මකය.
     
    මෙම කලාපය තුළ විද්‍යා ප්‍රදර්ශන, විවිධ නව නිපැයුම්, ජල රොකට් තරග, ජෝතිෂ්‍ය හා විද්‍යාව පිළිබඳ සංවාද, විද්‍යා චිත්‍රපට, විද්‍යාත්මක දේශන හා වැඩමුළු, විද්‍යාවේ නව සොයාගැනීම් පිළිබඳ තොරතුරු හා ග්‍රහලෝකාගාර නැරඹුම් දර්ශන ද ඇතුළත්ය.  
     
    විද්‍යා සතියට සමගාමී ව ජාතික විද්‍යා පා ගමනක් සංවිධාන කොට ඇති අතර නොවැම්බර් 08 වන සෙනසුරාදා පෙ.ව. 7.30ට විද්‍යා පාගමන මේට්ලන්ඩ් පෙදෙස, කොළඹ 07 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපසින් ආරම්භ වී නිදහස් වටරවුම, කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපසින් ගමන් කොට තුන්මුල්ල හන්දියෙන් බෞද්ධාලෝක මාවත ඔස්සේ කාර්මික තාක්ෂණ ආයතන පරිශ්‍රය කරා ළඟාවීමට නියමිතය. 
     
    මේ සඳහා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාඥයන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන්, නිලධාරීන් මෙන් ම ත්‍රිවිධ හමුදා නිලධාරීන්, පාසල් හා විශ්වවිද්‍යාල සිසුන් ද සහභාගී වේ.
     
    ජාතික විද්‍යා කලාපය තුළ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පරිපාලන සංවර්ධන ආයතනය, ශ්‍රී ලංකා ගණකාධිකාරී ආයතනය, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික චිත්‍රපට සංස්ථාව, ඉදිකිරිම් පුහුණු හා සංවර්ධන ආයතනය, භෞතික විද්‍යා ආයතනවල ප්‍රදර්ශන කුටි පැවැත්වෙන අතර අවට කලාපයේ ප්‍රධාන පාසල් ළමුන් කේන්ද්‍ර කරගනිමින් විශේෂිත වූ දේශන පැවැත්වීම ද සිදු කෙරේ.
     
    තාක්ෂණ හා පර්යේෂණ ක්ෂේත්‍රයේ නියැළෙන සියලු ම දෙනාටත් විද්‍යාව හා නව නිර්මාණ කෙරෙහි ඇල්මක් දක්වන සියලු දෙනාටත් විද්‍යා කලාපය නැරඹීමට සහ නොවැම්බර් 08 වන දින උදෑසන පැවැත්වෙන විද්‍යා පා ගමන සඳහා සහභාගි වන ලෙස තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය ඉල්ලා සිටී.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya