සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා - ඇමරිකා වෙළෙඳ සබඳතා ඉතා වැදගත් කොට සලකනවා

    ඔක්තෝබර් 16, 2014
    ශ්‍රී ලංකාව සමඟ පවත්වන්නාවූ වෙළෙඳ සබඳතා ඇමරිකා එක්සත් ජනපදය ඉතා අගය කරන බව, මධ්‍යම සහ දකුණු ආසියාව සඳහා වන ඇමරිකානු වෙළෙඳ නියෝජිත, මයිකල් ඩෙලනි (Michael Delaney)මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (15) පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී ආරම්භ වූ, 11 වැනි ඇමරිකා - ශ්‍රී ලංකා වෙළෙඳ හා ආයෝජන සාකච්ඡා වටයේ (11th 
    Joint Council Meeting under the US-Sri Lanka Trade and Investment Framework Agreement) ආරම්භක සැසිය අමතමිනි.
     
    මෙම ද්වීපාර්ශ්වික සාකච්ඡා සඳහා මයිකල් ඩෙලනි මහතාගේ නායකත්වයෙන් යුත් නව දෙනෙකුගෙන් සමන්විත ඉහළ පෙළේ ඇමරිකානු දූත පිරිසක් ද, ශ්‍රී ලංකාව වෙනුවෙන්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන්, එම අමාත්‍යාංශ ලේකම්, අනුර සිරිවර්ධන ඇතුළු රේඛීය අමාත්‍යාංශ හා ආයතන නියෝජනය කරමින් 27 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් ද සහභාගී වූහ. 
     
    2002 වසරේ සිට ක්‍රියාත්මක ඇමරිකා - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම් ප්‍රකාර ව ක්‍රියාත්මක ද්වීපාර්ශ්වික වෙළෙඳාම හා ආයෝජන අවස්ථා පුළුල් කිරීම මෙම සාකච්ඡා වටයන්හි අරමුණයි.
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මයිකල් ඩෙලනි මහතා, "ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර වෙළෙඳ හා ආයෝජන අවස්ථා කළමනාකරණයට, අප දෙරට අතර පවතින වෙළෙඳ ගිවිසුම් හරහා වැදගත් කාර්යභාරයක් ඉටුවෙනවා. මේ වන විට ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර ද්වීපාර්ශ්වික වෙළෙඳ හා ආයෝජන සබඳතාවන්හි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 03 ඉක්මවනවා. ඒ වගේම ශ්‍රී ලංකාව සමඟ ඇමරිකාව පවත්වන්නාවූ වෙළෙඳ සබඳතා අප ඉතාමත් වැදගත් කොට සලකනවා. මෙම වෙළෙඳ සාකච්ඡා එම සබඳතාවන්හි විශේෂ සංධිස්ථානයක්. මෙම සබඳතා ඔස්සේ අප දෙරටට ම විපුල පල නෙළා ගැනීමට හැකි වී තිබෙනවා." 
     
    මෙහිදී අදහස් දැක් වූ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා, "ඩෙලනි මහතා සිව්වැනි වරටත්  ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් මාගේ ප්‍රණාමය මේ අවස්ථාවේදී පිරිනමනවා. 2002 වසරේ ආරම්භ වූ මෙම ගිවිසුම දෙරටටම පුළුල් වෙළෙඳ අවස්ථාවන් හිමිකර ගැනීමට හැකි වූ සාර්ථක ක්‍රමවේදයක් බැව් කියන්න කැමතියි. විශේෂයෙන් ශ්‍රී ලංකාව සීග්‍රයෙන් දියුණු වෙමින් පවත්නා මෙවන් යුගයක, මෙවැනි ගිවිසුමක් ඉතා වැදගත් වෙනවා. අතිගරු ජනාධිපතිතුමන්ගේ නායකත්වය යටතේ මේ වන විට ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයේ ඉහළ යාමක් පෙන්නුම් කරනවා. ඒ වගේ ම යටිතල පහසුකම් දියුණු කිරීමත් කඩිනමින් සිදුකෙරෙනවා සේ ම, ජාත්‍යන්තර 
    වෙළෙඳපොළද වේගයෙන් දියුණු වෙමින් පවතිනවා.
     
    1979 සිට ම අපගේ අපනයන නිෂ්පාදන වැඩි වශයෙන් ම මිල දී ගනු ලබන්නේ, ඇමරිකානු එක්සත් ජනපදයයි. 2013 වසරේ දී ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර වූ සමස්ත ද්වීපාර්ශ්වික වෙළෙඳාම, 2012 සිදු කළ වෙළෙඳ අගය හා සැසඳීමේදී 21% ක තරම් ඉහළ මට්ටමක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. එහි අගය ඇමරිකානු ඩොලර් බිලියන 2.8ක් වුණා. මේ වන විටත් ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු ආයෝජන ව්‍යාපෘති 22කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා. එබැවින් තවතවත් ශ්‍රී ලංකාව තුළ ආයෝජන සිදුකරන ලෙස ඇමරිකානු ආයෝජකයන්ට මා ඇරයුම් කරනවා."
     
    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම්, අනුර සිරිවර්ධන මහතා, "අප දෙරට ඇතිකර ගත් ගිවිසුම යටතේ වන මෙවර වෙළඳ සාකච්ඡා වටයේදී සාකච්ඡා කිරීමට 
    බලාපොරොත්තු වන්නේ, වෙළෙඳපොළ ප්‍රවේශය, බුද්ධිමය දේපළ කටයුතු සහ තාක්ෂණික සහයෝගිතාව පිළිබඳවයි. එමෙන් ම, මෙම ගිවිසුමට අදාළ ප්‍රායෝගික මට්ටමේ පවත්නා සහයෝගීතාව පිළිබඳ සැලකීමේදී ජීවනෝපාය සංවර්ධනය, සංචාරක කර්මාන්තය හා කාන්තා ව්‍යවසායකත්වය බලගැන්වීම යන අංශ සඳහා ද ව්‍යාප්ත ව පවතිනවා. තවද, සුළු හා මධ්‍ය පරිමාණ අංශය පුළුල් කිරීමේ හැකියාවක් ද  මෙම ගිවිසුම හරහා පවතිනවා."
     
    මෙම සාකච්ඡා සඳහා,  එක්සත් ජනපද කම්කරු දෙපාර්තමේන්තුවේ, ජාත්‍යන්තර කම්කරු 
    කටයුතු පිළිබඳ කාර්යාංශයේ වෙළෙඳ ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානී, ඈන් සෝල්නර් (Ann 
    Zollner), එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ, දකුණු ආසියාව පිළිබඳ වෙළෙඳ නිලධාරී, මැතිව් බෙහ් (Matthew Beh), එම දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකාව හා මලයාසියාව පිළිබඳ නිලධාරී, රයන් ඉස්මාන් (Ryan Essman), චෙන්නායි හි පිහිටි ඇමරිකානු කොන්සල් ජෙනරාල් කාර්යාලයේ වෙළෙඳ තානාපති, ජෝන් මයිකල් ෆ්ලෙමින් (John Michael Fleming), එම කාර්යාලයේ ජ්‍යේෂ්ඨ වාණිජ විශේෂඥ, මනිමාලා වෙන්කට්රාම් (Manimala Venkatram), එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුයුක්ත ජාත්‍යන්තර කම්කරු කටයුතු කාර්යාලයේ විදේශ කටයුතු නිලධාරී, ජෙසිකා ස්ලැටරි (Jessica Slattery), එක්සත් ජනපද නවදිල්ලි තානාපති කාර්යාලයේ දකුණු ආසියානු බුද්ධිමය දේපළ කාර්යාංශ නිලධාරී, කල්පනා රෙඩ්ඩි (Kalpana Reddy), ශ්‍රී 
    ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ උපදේශක, ඇලිසන් වී. 
    ඇරියාස් (Allison V. Areias), එම කාර්යාලයේ ඇන්ඩෲ මාන් (Andrew Mann) යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
     
    ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින්, ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති, ප්‍රසාද් කාරියවසම්, වාණිජ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්, ආර්.ඩී.එස්. කුමාරරත්න, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක, බන්දුල එගොඩගේ යන මහත්වරු ඇතුළු, කර්මාන්ත හා වාණිජ කටයුතු, කෘෂිකර්ම, ආර්ථික සංවර්ධන, කම්කරු, සිවිල් ගුවන් සේවා, ඛනිජ තෙල් කර්මාන්ත, ආයෝජන ප්‍රවර්ධන, මහාමාර්ග, වරාය හා නාවික, විදේශ කටයුතු, මුදල් හා ක්‍රමසම්පාදන යන අමාත්‍යාංශ ද, ශ්‍රී ලංකා රේගුව, වරාය අධිකාරිය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය නියෝජනය කරමින් නිලධාරීහු රැසක් ද සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya