මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව තුළ මැණික් කැණීමට විදේශිකයෙකුට හෝ විදේශීය සමාගමකට අවසර නැහැ

    සැප්තැම්බර් 24, 2014

    ශ්‍රී ලංකාව තුළ මැණික් කැණීම සඳහා කිසිදු විදේශිකයෙකුට හෝ විදේශීය සමාගමකට බලපත්‍ර ලබා නොදෙන බව පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.


    විදේශිකයන්ට ශ්‍රී ලංකාවේ  මැණික් වෙළඳ කටයුතු සඳහා සම්බන්ධ විය හැකි නමුත් හවුල් ව්‍යාපාරයක් ලෙස හෝ මැණික් කැණීම සඳහා සම්බන්ධ විය නොහැකි බව ද අමාත්‍යවරයා අවධාරණය කරයි.


    විදේශීය සමාගම්; ශ්‍රී ලංකාව තුළ මැණික් කැණීම සඳහා බලපත්‍ර ලබාගෙන ඇති බවට විවිධ රාවයන් පැතිරයාම හා ඉදිරියේ දී විදේශිකයන් සහ විදේශීය සමාගම් මඟින් දේශීය පතල් කර්මාන්තයට තර්ජනයක් එල්ල විය හැකි බැවින් අමාත්‍යවරයා එම තීරණය ගෙන තිබේ. ඉදිරියේ දී එවැන්නක් සිදුවීමේ අවදානම අවම කිරීම සඳහා නීති රෙගුලාසි තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට උපදෙස් ලබාදී ඇත.


    මැණික් කර්මාන්තයට අදාළ ගැටලු පිළිබඳ ව රත්නපුර හා ඇහැලියගොඩ ප්‍රදේශයන්හි මැණික් කර්මාන්තයේ නියුතුවන  සමිති සමාගම් නියෝජිතයන් පිරිසක් සමඟ පසුගියදා පරිසර අමාත්‍යාංශයේ දී පැවති වි‍ශේෂ සාකච්ජාවක දී  අමාත්‍යවරයා මේ බව පැවසීය.


    හම්බන්තොට අධිවේගී මාර්ගය ඉදිකිරීමෙන් පසු මත්තල ගුවන් තොටුපොළේ සිට පැය භාගයකින් රත්නපුරයට පැමිණීමේ හැකියාව ලැබෙන බැවින් මැණික් ගැරීමේ, මැණික් කපා ඔප මට්ටම් කිරීමේ හා වෙළඳාම කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස රත්නපුරය මැණික් කලාපයක් බවට පත් කරන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත්  පැවසීය.මැණික් කර්මාන්තයේ නියුතු පුද්ගලයන්ගේ ගැටලු අමාත්‍යවරයාට  ඉදිරිපත් කිරිම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි අමිත ගමගේ, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වැඩ බලන අධ්‍යක්ෂ ඡනරාල් / පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ  අතිරේක ලේකම් එන්.කේ.ජී.කේ. නැම්මවත්ත, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නීති නිලධාරිනිය හා සමිති සමාගම් නියෝජිතයන් දෙදෙනෙක් ගෙන් සමන්විත කමිටුවක් ද මෙහිදී පත් කරන ලදී.


    මැණික් කැණීමේ බලපත්‍ර ලබා දීමේදී  සිදුවී ඇති අක්‍රමිකතා හේතුවෙන් පසුගිය කාලයේ රත්නපුර ප්‍රදේශයේ ඇති වූ උද්ඝෝෂණයන් හේතුවෙන් මැණික් කැණීමේ බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය තවදුරටත් විධිමත් කරමින් ඉදිරියේදී අදාළ බලපත්‍ර නිකුත් කිරීමට ප්‍රථම පුවත්පත් දැන්වීම් මඟින් ප්‍රසිද්ධ කිරීමේ නව ක්‍රමවේදයට  එම සාකච්ඡාවේ දී අදාළ සංගම් නියෝජිතයන් තම ප්‍රසාදය පළ කළේය.


    ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි අමිත ගමගේ, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්/පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ  අතිරේක ලේකම් එන්.කේ.ජී.කේ. නැම්මවත්ත යන මහත්වරු ඇතුළු නිලධාරි පිරිසක් ද භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා  සහ නීති නිලධාරිනිය ද පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ නීති නිලධාරිනිය ද එම අවස්ථාවට සභභාගි වූහ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya