අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උපාධිධාරීන්ට ස්ථිර පත්වීම් දීමට පළාත් සභාවල සහයෝගය අවශ්‍යයි Featured

    අප්‍රේල් 05, 2014
    උපාධිධාරීන්ට ස්ථිර පත්වීම් ලබා දී අවසන් කිරීමට මධ්‍යම රජයට පළාත් සභාවල සහයෝගය සහ මැදිහත්වීම් අත්‍යවශ්‍ය බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි. 
     
    කොළඹ සංවර්ධන පරිපාලන ආයතනයේ පැවති දිසාපති සමුළුව අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
     
    “උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවාගෙන ඔවුන් 41,000ක් විතර අපි දැන් ස්ථිර කරලා තියෙනවා. ඇතැම් පළාත් සභා, උපාධිධාරී වැඩසටහන සාර්ථකව අවසන් කර ගැනීමේ වගකීම මධ්‍යම රජයේ වැඩක් කියලා අවශ්‍ය සහයෝගය ලබාදීම මගහරිමින් කටයුතු කරනවා. එසේ නොවන්නට අද සියලුම උපාධිධාරීන්ට ස්ථිර පත්වීම් ලබා දීලා. අතිගරු ජනාධිපතිතුමා උපාධිධාරීන් සඳහා රාජ්‍ය සේවයේ දොරටු විවර කළේ මධ්‍යම රජයට විතරක් නෙවෙයි. සමස්ත රාජ්‍ය සේවය වෙනුවෙන්මයි. එම නිසා මෙම වැඩපිළිවෙළින් බැහැරවන්න පළාත් සභාවලට බැහැ”අමාත්‍යවරයා පැවසීය.
     
    දිසාපති සමුළුවේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස උතුරු නැගෙනහිර පළාත්වල  අතිරික්ත දමිළ උපාධිධාරින්  පිරිසක් සබරගමු පළාතේ වතු පාසල්වල ගුරුවරන් ලෙස බඳවා ගැනීමට සබරගමු පළාත් ලේකම්වරයා එකඟතාව පළ කරන ලදි. 
     
    මධ්‍යම රජය යටතේ ඇති අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු 138කට මේ වන විට ස්ථිර පත්වීම් ලබා දී ඇති උපාධිධාරීන් සංඛ්‍යාව 40,564කි. වැඩිම උපාධිධාරීන් පිරිසක් සඳහා ස්ථිර පත්වීම් ලබා ඇත්තේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙනි. එය සංඛ්‍යාත්මකව 16,680කි. මීට අමතරව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයට 2,125ක්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව‍ට 1,699ක්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට 1,530ක්, කෘෂිකර්ම අමාත්‍යංශයට 1,151ක් , අධ්‍යාපන අමාත්‍යංශයට 879ක් වශයෙන් ස්ථිර පත්වීම් ලිපි මේ වන විට ලබා දී ඇත.
     
    කොළඹ දිස්ත්‍රික්කයේ තවත් පුරප්පාඩු 500ක් පමණ ඇති බවත් පුරප්පාඩු පවතින අනිකුත් දිස්ත්‍රික්කයන් සඳහා ඉතිරි උපාධිධාරීන් වහාම අනුයුක්ත කොට වැඩසටහන අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සියලුම දිස්ත්‍රික් ලේකම් වරුන්ගෙන් සහ පළාත් සභා ලේකම් වරුන්ගෙන් අමාත්‍යවරයා එහිදී ඉල්ලා ‍සිටියේය.
     
    මෙම දිසාපති සමුළුවට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් පී. බී. අබේකොන් මහතා, සියලුම දිස්ත්‍රික් ලේකම්වරු, පළාත් සභා ප්‍රධාන ලේකම්වරු ඇතුළු නිලධාරීහු රැසක් සහභාගී වී සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya