අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලුදෙනා අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කරමින් රටේ සාමය ආරක්ෂා කර ගැනීමට කැපවිය යුතුයි- ජනපති

    ජූනි 04, 2019

    ජාතීන් වශයෙන් ගැටුම් ඇතිකරගත හොත් රට විනාශයට පත්වන අතර සියලුදෙනා සහෝදරත්වයෙන් සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතු ව කටයුතු කරමින් රටේ සාමය ආරක්ෂා කර ගැනීමට කැපවිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

    රට තුළ ඇතිව තිබෙන වත්මන් තත්ත්වය පිළිබඳව ද අවබෝධයෙන් සහ බුද්ධිමත්ව කටයුතු කරමින් ප්‍රශ්න විසඳාගැනීම ඉතා වැදගත් වන අතර, රට තුළ මතුව ඇති තත්ත්වය සාමකාමී ලෙස සමනය කර ගැනීමට රජයක් ලෙස ගත හැකි සෑම පියවරක් ම ගන්නා බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ මෙරට ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් ඊයේ(03) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති ජාතික ඉෆ්තාර් උත්සවය අමතමිනි.

    ඉස්ලාම් ආගමික නායකයන් සහ ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් මීට එක්ව සිටියහ.

    මෙම උත්සවය ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ එකිනෙකා දෙස වෛරයෙන් සහ සැකයෙන් බැලීම සිදුවන තාක් රටේ ජාතික සමඟිය ගොඩනැඟිය නොහැකි බවයි.

    අන්තවාදී සහ ත්‍රස්තවාදී ක්‍රියා තරයේ ප්‍රතික්ෂේප කරන අතර, රටේ සියලු ජනකොටස්වලට සාධාරණ සමාජයක නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් ගොඩනැඟීමට රජය කැපවී සිටින බව ද ජනාධිපතිතුමා කියා සිටියේ ය.

    ඉස්ලාම් ජනතාවගේ ගැටලු කිහිපයක් පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරුණු අතර මුස්ලිම් ජාතිකයන් දහස් ගණනක් රිමාන්ඞ් භාරයේ රඳවාගෙන සිටින බවට ගෙන යන අසත්‍ය ප්‍රචාර පිළිබඳ අදහස් දැක් වූ ජනාධිපතිතුමා කියා සිටියේ ඒ පිළිබඳ වාර්තාවක් තමා මේ වන විට ගෙන්වා ගෙන තිබෙන බවත්, අප්‍රේල් 21 සිදුවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා තවදුරටත් රඳවාගෙන සිටින මුස්ලිම් ජාතිකයන්ගේ සංඛ්‍යාව 559ක් පමණක් බවත් අදාළ විමර්ශන කටයුතුවලින් අනතුරුව ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ නොවන සියලු දෙනා කඩිනමින් නිදහස් කිරීමට උපදෙස් ලබා දී තිබෙන බවත්ය.

    රට තුළ මතුව ඇති තත්ත්වය හමුවේ සියලු ජනකොටස්වල සහ ආගම්වල ගරුත්වය ආරක්ෂා කරමින් සියලුදෙනාට සාධාරණය ඉටුකිරීම වෙනුවෙන් ජනාධිපතිතුමා ගන්නා උත්සාහය අගය කළ ඉස්ලාම් ආගමික නායකයෝ ඒ පිළිබඳ සිය ප්‍රශංසාව ජනාධිපතිතුමා වෙත පළ කළහ. ජාතික සංහිඳියාව වෙනුවෙන් ආශිර්වාද කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

    කථානායක කරූ ජයසුරිය මහතා ඇතුළු මැති ඇමතිවරුන් ද, තානාපතිවරුන්, ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya